සුළඟ හෙමින් හැමුවාවේ
දෙවියනේ ඔයා කොහෙද මෙහෙ.....?"
දෑස විසල් කරගත් මා ඇසුවේ අතිශය පුදුමයෙනි.
උස් වූ මගේ ස්වරය අභියස ඔහුට
තව තවත් සිනහ පහළ විය. කාර්යාලීය ඇඳුමෙන්
සැරසී සිටි ඔහු වෙතින් වෙහෙසකර
බවක් පළවුන ද ඒ දුඹුරුවන් දැසේ වූ නොසැලෙන බව බිඳකුදු
නොවෙනස්ව පැවතුණි. මට වඩා වසර දහයක් පමණ වැඩිමල් වුවද
කයිල් බොහෝ කඩවසම් යැයි හැඟුනෙන් මට ඒ
පිළිබඳ සියුම් ආඩම්බරයක් නොදැනුනා නොවේ.
"ඔයා තවත් ලස්සන වෙලා සැමී...... චූටි බයිසිකලේකුත්
තල්ලු කරන් පල්ලම බහිද්දී මං හිතුවෙ ඉස්කෝලෙ
යන කෙල්ලෙක් කියල.....ඔයාගෙම පන්තියේ ළමයිනුත් ඔයාට
ඇහැදානව ඇති කියලා මං කිව්වෙ බොරු නෙමේ...”
ඔහු පවසන කල මම හඬනගා සිනාසුනෙමි.
කයිල්ගේ පැමිණීම මට සතුටක් ගෙන දුන්නාද...?
මා සිත යටින් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියාද....?
මම නොදනිමි. මා සිනා සෙමින් ඔහු අසලට යද්දී
බයිසිකලයෙන් නිදහස්ව තිබූ මගේ වමත ගත් ඔහු
එය සියතට ගෙන තද කළේය. සිනහවක් පෑ මම ඉවත බැලුවෙමි.
එහෙත් පසෙකින් මා දෙස ඔරවාගෙන මෙන් බලා
සිටි රුව අභියස මගේ සිත සසල විය.