මිගුවල් වීදිය
නොබෙල් සම්මානලාභී 'ශ්‍රීමත් විදාධර් සුරාජ් ප්‍රසාද් නායිපෝල්' හෙවත් වී.එස්. නායිපෝල් සාහිත්‍ය කෘතීන් රාශියක් ජගත් සාහිත්‍යයට දායාද කළා වූ විශිෂ්ට ලේඛකයෙකි. සාහිත්‍යධරයෙකි.
ඉන්දීය සම්භවයක් සහිත මෙම විශිෂ්ට ලේඛකයා ස්වකීය ලේඛන කලාවට ප්‍රවිෂ්ට වූයේ 'ට්‍රිනිඩෑඩ් ගාඩියන්' පත්‍රයෙහි ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ සිය පියාගේ අඩි පාරේ ගමන් කරමිනි. බොහෝ කාලයක් පුරා එංගලන්තයේ වාසය කරමින් එහි හැදී වැඩුණු නායිපෝල් සිය ලේඛනය ඉංග්‍රීසි බසින් හැසිර වූවද ඔහුගේ බොහෝ කෘතිවලට අනුභූතිය සපයන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව්වයි.
'මිගුවල් වීදිය' නම් වූ මෙම කෘතියෙහි ට්‍රිනිඩෑඩ් නම් වූ සුළු ජනගහනයකින් යුතු ඉතා කුඩා දිවයිනක පිහිටා ඇති මිගුවල් වීදිය ආශ්‍රිත ජන ජීවිතය අන්තර්තය. එහි පිහිටි ස්පේන් වරායබඩ ප්‍රදේශ ආශ්‍රිතව දෙවන ලෝක සංග්‍රාම සමයේ ඇතිවන්නා වූ කුදු මහත් සිද්ධි සමුදායක සංකලනයකි මෙය. මෙහි ජීවමාන බොහෝ චරිත ඔබ හා අප අතර නිරන්තරව සැරිසරන්නෝම වෙති. මෙහි සඳහන් සිද්ධි ඔබ අප ජීවත් වන සමාජය තුළ සිදුවන සිදුවීම්මය. එහෙයින් මෙය විදේශයකින් අප වෙත පැමිණි ආගන්තුක කෘතියකැයි ඔබට නොහැඟෙනු ඇත.