උඩු ගුවනේ භීෂණය
අඩි දහනව දහසේ මට්ටමට මා ළඟා වන විට, මධ්‍යාහ්නය එළැඹී තිබිණ. හමන සුළඟ බෙහෙවින් ම දරුණු වූයෙන් මගේ යානයේ අත්තටුවල දරා ගැනීමේ හැකියාව දෙස සැක සංකාවෙන් යුක්ත ව බැලීමි. ඒවා කැඩී බිඳී යාදෝ නැත හොත් බුරුල් වී යාදෝ යන සැකයෙනි මා එසේ බැලුවේ. මා පිටිපසින් තිබුණු පැරෂූට බැඳුම් ලිහිල් කැර එහි වූ යකඩ කොක්ක මගේ හම්පටි වළල්ලට සම්බන්ධ කැර ගතිමි. ඒ දරුණුතම තත්වයකට සූදානම් වීමක් වශයෙනි. කාර්මිකයා ගේ නොසැලැකිලිමත් සුළු වැඩක් වෙනුවෙන්, ජීවිතයෙන් වන්දි ගෙවීමට ගුවන්නියමුවා හට සිදු වන්නා වූ අවස්ථාව එය විය.
එහෙත් ගුවන්යානය නිර්භීත ලෙස ඒ අවස්ථාවට මුහුණ දුන්නේ ය. වීණාවක තත් පරිද්දෙන් යානයේ හැම කොටසක් ම හඬ නංවන්නට ද, කම්පනය වන්නට ද වූයේ ය. එහෙත් එල්ල වූ සියලු ප්‍රහාරයන්ට යානය මුහුණ දුන් අන්දම දැකීම කෙතරම්, අපූරු වී ද! ඈ තව දුරටත් සොබාදහම ජය ගත්තියක වූවා සේ ම, ආකාශතලයේ ප්‍රියාව ද වූවා ය.