මිරිඟුව - මාර්ටින් වික්‍රමසිංහ
ආ! ඩොටීගේ ...... දුටුගැමුණු කන්නේ හරියට උපාසක රාළ කෙනෙක් දන් වළඳන්නා වාගේය. යි කියමින් ෂෙම්පින් පාට සාරියකින් සැරසී සිටි එක් ස්ත්‍රියක් ඩොටීගේ බලු කුක්කා දෙස බැලුවාය. ඌ අඟල් දොළහකට වඩා දික් නොවු වියතකට වඩා උස් නොවු දිග සුදු ලොම් වලින් වැසුණ දේහයක් ඇති බලු පැටියෙකි. උගේ කඳෙන් හිස වෙන්ව නොපෙනුණි. බෙල්ලත් කඳත් එක සමාන විය. මුහුණ දෙපසෙහි දික් ලොම් වලින් හෙවණ වු කුඩා වෙරළු මිණි යුවළක් වැනි නෙත් යුවළක් ඌට විය. ආ! දුටුගැමුණු කොපමණ ලක්ෂණදැ යි තවත් ස්ත්‍රියක් කීවාය. මයි ඩාර්ලිං කියමින් ඩොටී තම බලු පැටියාගේ හිස අතගෑවාය. උසස් සමාජයේ ගෑනුන් හා පිරිමින් මෙබඳු අවස්ථාවලදී කතා බස් කිරීමට කලින් පුහුණු කරනු ලැබුවෝ වෙති. එහෙයින් මෙහිදී ඔවුන්ගේ මුවෙන් ගිලිහී වැටුණු වචන හද තුළ උපන් නියම හැඟීම් නිසා මුවෙන් නිකුත් වු වචන නොවීය. ඒ වචන දිව නමැති කපටියා විසින් උසස් සමාජයේ කතා ව්‍යවහාරය නමැති කසුන් පැහැති සායම් බඳුනෙහි බහා ගන්නා ලද බොරුය.