අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්
"පුතේ...” මහල්ලා මුණුපුරාගේ මුහුණ දෙස හෙළුවේ බර බැල්මකි. "දරුවන්ගෙ පුංචි ම පුංචි දෙයක් වුනත් දෙමව්පියන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැම දෙයක් ම හරියට මංජුසාවක තැන්පත් වෙනව වගේ හිත පතුළෙ ම රැඳිල තියෙනවා. ඕන ම වෙලාවක ගංවතුරක් ගලනව වගේ ඕසෙට කියාගෙන යන්න පුළුවන්.”
මහල්ලා හෙමිහිට කොලුවාගේ අත අතගාමින් කීවේ පුදුමාකාර වූ ළබැඳි හඬකිනි. ඒ හඬ තුළ ආදරය කරුණාව දයාව මුසු වූ මෘදු බව ජයන්ට අදහාගත නොහැකි තරම් විය.
"සීයෙ එතකොට දරුවො හිත රිදෙන දෙයක් කළොත් ඒවත් මතක තියාගෙන ඉන්නවද? මහල්ලාට සිනාවක් ගියේ ඉබේම ය. කොල්ලා නරක ම නැත. දරුවො තමන්ට වැරදි දෙයක් කළත් දෙමව්පියො කවදාවත් දරුවො එක්ක තරහ වෙන්නෙ වෛර බැඳ ගන්නෙ නෑ පුතේ. මේ ලෝකෙ තියෙන උතුම් ම බැඳීම තමයි ඒක. දරුවන්ට දෙමව්පියො හැමදාමත් සමාව දෙනවා."
මහල්ලා එය නම් කීවේ තෙත බරිත හඬකිනි. තමාගේ හිත රිදුණු සියලුම දේට දරුවන්ට සමාව දී අවසන් ය. දැන් කළ යුතුව ඇත්තේ හුරුපුරුදු මාවත් දිගේ තනිවම පිය නැගීම පමණකි.