මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 8
-
ග්ලැසේරා ගැන අදහසක්මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිග්ලැසේරා නවකතාවට ප්‍රවිශ්ඨය ගන්නට මේ කුහුල පිරුණු සිද්ධි කීපයක මතකාවර්ජනයක් ලියන්නට පාදක වුණේ මෙම කථාව කියවපු පාඨකයිනට යළි සිහි කැඳවීමක් වගේම නොකියවපු පාඨකයින්ට පෙළඹවීමේ රසය අරමුණු ඇතිවයි.
මෙම වචන ඔබට හුරුපුරුදු ඇති,
" ත්‍රාසය, භීතිය, කුතුහළය, භිරාන්තිය, උද්වේගකර.... "
කථාවේ සමාරම්භක පෙළ වන "මම කවදාවත් ඉර දැකලා නෑ" ආරම්භයේ සිටම තුන්සිය හතළිස් හතරවන පිට දක්වා මෙම හැඟීම් පෙළ තරඟකාරී වපසරියක් තුළ පාඨකයා අතරමං කරවීමට 'කේෂාන් හරේෂු' නම් සම්මානනීය ලේඛකයා සමත් වී තිබෙනවා. මෙම විචාරය මෙම කථාව අරඹයා පමණක් ලඝු නොකොට ඊට අමතරව රසවත් කරුණුද විචාරගත කිරීම් උචිත යැයි මා සිතමි. කෙසේ නමුත් ඊට පෙරාතුව මෙම කෘතිය මා කියවු කාල සීමාව පිළිබඳව සඳහන් කිරීමට කැමැත්තෙමි.
වේලාව රාත්‍රී 11.00 සිට අළුයම 01.00 පමණ.(සීතල සුළං ගත දැවෙටන මොහොතක)
මෙය කියවන ඔබට මා යෝජනා කරන්නේ ග්ලැසේරා හී උපරිම වීන්දනීය මොහොත අත්විඳීමට (ග්ලැසේරා චිත්‍රපට අත්දැකීමට) මෙම කාල සීමව යොදා ගන්නා ලෙස.
ත්‍රාසය, භීතිය, කුතුහලය, භිරාන්තිය, උද්වේගකර... මේ හිරිගඬු පිපෙන හීතල කතාවේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ඉතා තරඟකාරී ගමනක් අපේ මනස පුරා දිවයන්නේ මේ හැඟිම සමුදා කතෲ කොට ගෙනය. මෙහි ප්‍රඨාන චරිතයක් චරිතවත් නොකොට චරිත අතර ඝට්ටනයක් ඇති කරමින් එම එක් එක් චරිතයට මුල් වූ සිද්ධි දාමයක් නිර්මාණය කරමින් ත්‍රාසය, භීතිය, කුතුහල යනු කුමක්දැයි පාඨකයාට හරි අපූරුවට ගුරුහරුකම් දැක්වීමට සමත් වෙයි. මෙහි ප්‍රධාන චරිතයක් නැතිවුවද, අපට දැනෙන කුතුහලය ප්‍රාධාන චරිත යැයි මට විටෙක සිතේ. ඒ ඇයිද යත් පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වෙනස් කථා ප්‍රෙහේළිකාවන් මවමින් මෙම කථාවේ පුරුක් (කථාවේ තැනින් තැන හිස් තැන් පුරවන්නා සේ) අමුණමින්, එහි කුහුල මතුකරලීමට කතුවරයා සමත් වී ඇත.
"නමුත් ඒ වෙඩිහඬ ලාර්ස්ගේ ගිනිඅවියෙන් නිකුත් වූ උණ්ඩයේ හඬ පමණක් නොවීය. බස් රථයේ ඇතුළත වෙඬි හඬ දෙකක් නිකුත් විය."
කතෲ මෙය රචනා කිරීමෙන් උත්සහ ගත්තේ ටෙලි කතාවක් (TV Series) එකක් තුළට පාඨකයා රැගෙන යාමටය. ටෙලිකතා හීදී නරඹන්නාට ඇතිවන ඊළඟ කථාංගය නැරඹීමට ඇතිවෙන වුවමනාව සහ පෙළඹවීම එළෙසින්ම ඇතිකර වීම්ට ග්ලැසේරා පරිච්ඡේදයක් කියවා අවසානයේදී ඇති කරවයි.
තවත් එක් සිදුවීමක් ලුහුඬුව දක්වන්නේ නම්, රජීව් ගේ අයිපෑඩය හැනා, ලිලී සහ ස්ටිවන් සොයාගන්නා මොහොතේ එහි වීඩියෝ පටිගත වීම ක්‍රියාත්මකව පැවතීමත් (Video recording) සහ එහි පටිගතවී ඇති වීඩියෝ පටය තිදෙන නරඹන අවථාවේදී සිදුවූ කථාබහ සහ එම විඩියෝ පථයයි.(එම වීඩියෝ පටයේ අන්තර්ගතව තිබුණේ ඔවුන් පැමිණි බස් රථයේ දර්ශන සහ එහි සිදුවූ ඛේදනීය සිදුවීමකි.)
'ඒ සමඟම ස්ටීවන් වහාම විඩියෝව මදකට නතර කළේය.'
.....................
"ඇයි කියන්නේ? මේකේ මුකුත් අමුත්තක් පේන්නේ නැද්ද?"
....................
"මේ විඩියෝ එකේ අපි ජෝෂ්ගේ මිනිය තියලා ආවේ වම් පැත්තේ සීට් එකක නේද? ඒත් දැන් මේ මිනිය තියෙන්නේ දකුණු පැත්තේ නෙමෙයිද?"
.................
"දෙයියන්ට ඔප්පු වෙච්චාවේ..." ලිලීගේ ඇඟපුරා හිරිගඬු පිපෙන්නට විය.'
රචකයා මෙහි යොදාගත් දෙබස් සහ භාෂා විලාසය මත පාඨකයාගේ භීතිය, කුහුල, පාඨකයාටද නොදැනීම ඇතිකරලීමට සමත් වෙයි.
ඊට අනතුරුව මෙම කථාවේ දිවයන චරිත වල ඒ ඒ චරිතයට අදාළ අතීත කථාවක් සහ ඒ සමඟාමීව ඒ චරිතවලට ආවේණික ලක්ෂණද ඔවුන්ගේ මානසික ක්‍රියාකාරීතවයද පෙන්වාදීමක් සිදුකර ඇත.
• ලිලී බස් රථය තුළදී යටිගිරියෙන් කෑ ගැසීම.
• ලිලීගේ අතීත කථාවක් පරිච්ඡේදයක් තුළ විස්තර කිරීම.
• ඇසේරාගේ කුහුල දනවන ප්‍රශ්න.(හිම වැටෙන්නේ කොහි තිබිලද? ඇයි මගේ විතරක් ඇස් කථපාට?)
• ලාර්ස් සහ මෑඩ් මැක්ස්ගේ බැඳීම.
ග්ලැසේරා කථාව පුරා දිවයන තවත් අපූරූ සහ පාඨකයාට එකවර එත්තු කර නොහෙනා කාරණා බොහොමයක් ඇතිදැයි මෙය කියවන විට මට සිතුණි. කථාවේ අවසාන භාගයේ පණබේරා ගන්නා චරිතය මුළු ලෝකයක් මුලාවට පත් කර තමන් ගෙතූ මනංකල්පිත ලෝකය තුළ තමාගේ හිතසුව පිණිස ලෝකයක් මුළා කිරිමට තම් මිනිසා කොතරම් වංචනික වී තිබේද? තවත් මිනිසෙකු වරදකාරී කුටියක ගිල්වා තළාපෙලා දැමීමට මිනිසෙකුගේ වචන කොතරම් බලවත්දැයි ග්ලැසේරා අවසානය මොනවට පැහැදිලි කරයි.
කථාව ඇතුළේ කථාවක්?
මෙම විද්‍යා ප්‍රබන්ධය තුළ තවත් කුහුල දනවන කාරණයක් නම් මෙහෙ සඳහන් 'NM' මිනිසුන්ය. මේ පිළිබද විස්තර කිරීමට වඩා කථාව කියවීමෙන්ම මෙම 'NM' මින්සුන්ගේ අත්භූත කථාන්දරය දැනගන්නා ලෙස (කතාවේ රසයට හානි නොවීමට) මා ඔබට ඇරයුම් කරමි. බිළාල ඇස් ඇති අඳුරු යාමයේ තම දෙපා පොළව මත තබනා මෙම 'NM' මිනිසුන් ඇතුළත් සංවේදී කථාව, කථාවක් තුළ කථාවක් ( 2 in 1) ලෙස ගලා යන්නේ යැයි මට හැඟේ. මෙයට සාක්ෂි දරන්නේ 222 වැනි පිටුවේ ඇසේරා නම් අත්භූද දියණිය තම ඇන්ඩර්ස් මමා තමන්ගෙන් මෙතාක් වසන් කළ සොයාගනීමත් සමඟයි. ඇසේරා දැරිය මෙම කථාවේ අපට හමුවන තවත් එක් සුවිශේෂී සංදිස්ථානයකි. කියවූ මට, ඇය ගැන ඇතිවූයේ අනුකම්පා සහගත හැඟීම්කි. මෙම කතාව ආරම්භයේ ඇසේරා චරිතය ප්‍රයෝජනවත්දැයි මට ප්‍රශ්නාර්ථයක් නැගුණද, කතාවේ පිටුවෙන් පිටුව අවසානය කරා යන විට මා තුළ ඝට්ටනයක් (Shock) ඇතිකර වීමට සමත් වූයේ එහි ප්‍රයොජවත් බවට උත්තර කතාවෙ අවසානයේදී හරි අපූරුවට සපයමිනි.
මිනිසුන්වන අප අත්‍යන්තයෙන්ම ආත්මාර්ථකාමි සහ තමාගේ පැවැත්ම ගැන පමණ මුල් කොටගනා තවත් එක් ජීවීන් කොඨ්ඨාසයක්ද?.. මේ කතාවේ අප හමුවට එන ඇන්ඩර්ස් මාමා සහ ඔහුගේ ජීවිත කතාව තුළ අහිමි වීමේ වේදනාව තුළ හුදෙක්ම මිනිසා යන ජීවීන් කොඨ්ඨාසය පමණක් නොව... මේ මිහිමත සිටින සියළුම සත්ව වර්හයාටම දැනෙන බැව් සහ ඒ වේදනාවම ශක්තියක් කොට ඒ තළ නොමිනිසුන් පවා පළිගැනීමේ රසය සොයන බවද මේ කතාවේ ඇන්ඩර්ස් මාමාගේ අහිමිවීම තළින් පාඨකයාට පෙන්වා දෙනු ලබයි. ඇන්ඩර්ස් මාමා මිනිසෙක් යැයි මා නොකියමි. කිම්ද යත් මිනිස් ජීවියට පරිභාහිර ඒ හා සමාන ජීවින් කොඨ්ඨාසයට අයත් රචකයා විසින් නිර්මාණය කරන ලද විටෙක අසරණ, විටෙක බිහිසුණු ජීවීන් කාණඩයකට ඔහු අයත් වන බව කතාව කියවීමෙන් මට පසක් විය. අවසාන වශයෙන් කිව හැක්කේ, මේ සුහුරු ලොව තුළ මානව විද්‍යාවට හමු නොවුණු කොතරම් අත්භූත දෑ, අත්භූත ජීවින් ඇත්දැයි යම් සැකයක් ජනිත කිරීමට පවා සමත්වන ආකාරයට මෙම කතාව රචනා වී ඇතිබවය.
පොතේ කවරයට වටිනාකමක්?
ග්ලැසේරා පොත් ඔබ සතුව තිබේනම් එහි කවරයේ වම් පස කෙළවරෙහි සංකේත කිහිපයක් දැකගත හැකිය. පාඨකයාට කථාවවකියවීමට අවශ්‍ය කුහුලේ ආරම්භය මෙම කවරයෙන්ම මතුකිරීමට කවර නිර්මාණයෙන්ම සමත්ව ඇත.
සාහිත්‍යට අලුත් අංග?
කේෂාන් හරේෂු මහතා ග්ලැසේරා පොත නවමු ආකාරයකට ගෙන යමින් පාඨක සමූහයාට, සිංහල සාහිත්‍යයටද නවතම ක්‍රමශිල්ප හඳුන්වා තිබේ. ස්වතන්ත්‍ර නිර්මාණයක් වුවද එහි පරිවර්තන කෘතියක ලක්ෂණ ගැබ්ව තිබේ. තවද, කථාමාලාවක (TV series) ගලා යාම මෙම පොතෙහි පරිච්ඡේද මත මනාව රචනා කර ඇතිබව ග්ලැසේරා කියවන ඔබට පසක් වෙයි.
**********************
ආ... දැන් පෙස්ටා ගැන කිසි දෙයක් නොකියපු නිසා කට්ටිය මාත් එක්ක අමනාප වෙයිද දන්නෙ නෑ.. තව දෙයක්, ග්ලැසේරා පොත නිකම්ම පොතක් නෙමෙයි.
'2022 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම විද්‍යා ප්‍රබන්ධ පොතට හිමි සම්මානයද ලද සම්මානනීය පොතක්'
"හරි එහෙනම්, දැන් බස් එකෙන් බහිමු.... ????"
***********************
***********************
රචනය : ධනූෂ ධනංජය -
★★★★☆ ග්ලැසේරාහරිම ලස්සන පොතක්,
කුතුහලයෙන් පිරුණු අවසාන වෙනකන් වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න් බැරි,රහස් වලින් පිරුණු පොතක්
පොතක්
❤️❤️❤️❤️ -
★★★★★ Superb❤️#හිතගියපොත්
කෘතියේ නම:- #ග්ලැසේරා
කතෘ :- කේෂාන් හරේෂු
ප්‍රකාශනය :- ග්‍රන්ථ ප්‍රකාශකයෝ
කේෂාන් හරේෂු මහතාගේ දෙවෙනි කෘතිය වෙන්නේ ග්ලැසේරා කෘතියයි. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත ග්ලැසේරා කෘතිය සරල බසින් දිගු වාක්‍යය රටා යොදාගනිමින් රචනා කර ඇත. නිදන විල කියවාගෙන යද්දි සමහර තැන්වල දැනුන ඒකාකාරී ගතිය ග්ලැසේරා කෘතියෙහි දක්නට නොලැබේ. මට පොත අතට අරන් පිටු කිහිපයක් කියවන් යද්දීම දැනුනේ මෙය නම් එසේ මෙසේ නිර්මාණයක් නොවන බවකි. එක හැල්මේ පොත කියවාගෙන ගියේ බස් එකට නැඟි මගීන් ගැන ඇතිවූ නොනිමි කුතුහලයකිනි. සමාජය තුළ මුල් බැසගත් මිත්‍යා විශ්වාස නිසා මොන වගේ දෙයක් වෙන්න පුළුවන් ද? ඒ පිහිටෙන් අපරාධකාරයෙක්ට තම සිතැඟියාවන් ඉෂ්ට සිද්ධ කරගැනීමට මොන වගේ රුකුලක් ලබා දේවිද? ඉතින් "ග්ලැසේරා" මිත්‍යාවේ සහ සත්‍යයේ සැබෑ ඝට්ටනයක් නොවෙද?
කතාවෙහි මුල හෝ මැදට වඩා අවසානය, ඔව්. අවසාන පිටු දෙක මාව තිගැස්මකට පත් කළාය. මගේ හදවත අතට ගලවා ගත්තෙහි නම්, එය පෙරළා මට හිනාවෙනු නිසැකය. මා එසේ කියන්නේ මිනිස්සු ඒ තරමටම ආත්මාර්ථකාමීය. තම අවශ්‍යයතා නිසා අනෙකා පවා දී ඒ මතින් තම ජීවිතයේ ස්වර්ණමය රතු පලස එළා ගන්නේ පුදුම සහගත ලෙසිනි. එය සාධාරණියකරණය කරන්නට ඔහුට සාධාරණ මෙන්ම මානුෂීය හේතුවක් තිබුණි. නමුත් එය ඉන් ඔබ්බට ගොසින් මහා මුලාවක් වන්නේ නගරාධිපති සිහිනය දකිමිනි. එහි ඇත්තේ හුදෙක් ආත්මාර්ථකාමීත්වය බව මගේ හැඟීමයි. මා මෙම කොටසෙහි උපුටාගැනීමක් හෝ එම සිදුවීම ගැන ඉගියක් හෝ නොදෙන්නේ එක් කරුණක් නිසාය. ග්ලැසේරා ආරාම්භයේදීම කතුවරයා ඉල්ලීමක් කර ඇත්තේ අවසානය පිළුණු නොකරන ලෙසය. ඉතින් ඒ අවසානය කොතරම් හිත හෙල්ලුවත් මම ඒ ගැන නොකියමි. කෙසේ වුවද මුල , මැද කියවා අවසානයවත්, මුල, අග කියවා මැදවත් තේරුම් ගත නොහැකිය. අභිරහස තේරුම් ගැනීමට නම් පිලිවෙලට කියවාගෙන යා යුතුය. පිටුවක් පිටුවක් ගාණේ, කියවන වචනයක් ගාණේ කුතුහලය අවුස්සා ඇත්තේ මනරම් ලෙසය.
'සංගීත නාදය සෙමින් සෙමින් අවසන් වන විට හමා ගෙන ආ දුමාරය ඔවුන්ගේ නාස්පුඩු හරහා ගමන් කරන්නට විය. ඒ සමඟම...
"සුභ දවසක්... මම කවදාවත් ඉර දැකලා නෑ..." යනුවෙන් යාන්ත්‍රික පටිගත කිරීමක ආරම්භය ඇසෙන්නට විය.'
(උපුටාගැනීම 20 පිටුව)
මෙම සිදුවීම මාගේ සිතේ කතාව ගැන මුලින්ම බියක් ඇති කිරීමට සමත් විය. ඒ කෙසේද යත් මාගේ මුළු ගතම හිරිවැටී ගියේය. මට හිතුණේ එය ලේ, ඇට, මස් නහර විනිවිද ආත්මය පසාරු කරගෙන ගිය බිහිසුණු තර්ජනයක් ලෙසය.
"මැක්ස් බිම වැටෙද්දී ඔහු අමෝරාගෙන පැමිණි පිහිය ලිලීගේ ගෙල පසාරු කර තිබිණ. ඇගේ ගෙලෙන් රුධිරය වෑස්සෙමින් තිබුණු අතර ඒ වන විටත් විස්මයෙන් හෝ භීතියෙන් ඉහළ ගිය ඇගේ දෑස් ඇගේ ප්‍රාණය නිරුද්ධ වී ඇති බවට සාක්ෂි සපයමින් තිබුණි."
(උපුටාගැනීම 221 පිටුව)
අවසානය ළඟාවෙමින් ඇත. අන්ධකාර හිම කුණාටුවක් මැද්දේ එළියට යන සියල්ලෝම අතුරුදහන් වෙද්දී, තමා ළඟ උන් කිහිප දෙනාත් මරු වැළඳගද්දී කුමක් නම් සිතෙන්නට ඇද්ද? ලිලී මිය ගිය බිහිසුණු දර්ශනය දැන් දැන් මැවී පෙනෙන්නාක් මෙනි. මරණ බිය ගතට කා වද්දන රක්ත රුධිරය සේම, ලේ සුවඳ ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කරන්නකි. ඒ මොහොතේ ලිලීගේ මරණය අපේක්ෂා නොකල දෙයකි. අනපේක්ෂිත මොහොතක අපේක්ෂා නොකල අයුරින් සිදුවූ එම මරණය, හනාගේත් ස්ටීවන්ගේත් ජීවිතේ ගැන තිබූ විස්වාසය බිඳ දැමූවකි.
"මෙහෙ කොහෙන්ද හිම මිනිහෙක්...? ඔහුගේ ඇඟේ සෑම රෝමකූපයක්ම එක්වරම සෘජු වූවා පමණක් නොව, ඇඟ දිගේ විදුලියක් ගියා මෙන් එක්වරම ඇඟ ගැහෙන්නටද විය."
(උපුටාගැනීම 195 පිටුව)
"සැබවින්ම ඒ දේහයේ හිස හෙමින් හෙමින් ඉහළට එසවුණ අතර දම්පැහැ නහර ඉලිප්පී ගිය, සුදුම සුදු පාට, වියළී ගිය දෙතොලක් සහිත මුහුණක් එහි දිස් විය...,"
"දෑස් විවර විය. ඒවා සම්පූර්ණයෙන්ම ජීවයෙන් තොර වූවක් මෙන් අයිස් සේ නිලට සුදු හුරු සුදු පාටය. එම දෑස් විශාලය. ඒවායේ තිබුණේ බිළාල කුලයේ සතෙකුගේ මෙන් ඉරක් බඳු කළු ඉංගිරියාවකි. ඒ දෑස් එකහෙළාම ලාර්ස්ගේ දෑස් සමඟ යා වුණි. එක් ක්ෂණිකයෙන් මෙතෙක් අජීවීව මෙන් සිටි ශරීරයේ අත් දෙපසට හොලවමින්, බාගෙට කැඩී ගිය දත් අතරින් යටිගිරියෙන් වියරු හඬක් නඟමින් ඇය ඔහු වෙත දිව ආවේ ගොදුරක් වෙත කඩා පනින වෘකයෙකු මෙනි."
(උපුටාගැනීම 197 පිටුව)
මූසල ඝන අන්ධකාරයක හිම කුණාටුවක අතුරුදහන් වූ මිනිසෙක් හොයාගෙන යද්දි තමන්ද අතරමං වී ඇති බව හැඟුණ විට දැනෙන පීඩනය කෙබඳු වේවිද? ගත වී ඇති වේලාව බලා එය තහවුරු කරගෙන වටපිට බලද්දී අත ඇරපු නගරයක හිම මිනිහෙක් දැක්කොත් ඔබේ ලේ ගමනාගමනයට කුමක් වේවිද?
පොලිස් නිලධාරියෙකුගේ ස්වරූපය තමයි ඕනම දෙයක් හාරා අවුස්සා බැලීම. මෙහිදී ලාර්ස්ගේ හැසිරීමත් එලෙසමය. කොහෙන් පාත් වුණ හිම මිනිසෙක්දැයි වඩාත් සෝදිසියෙන් බලද්දි ඒ හිම මිනිහාට පණ ආවොත්, මම නම් සිතන්නේ ලාර්ස් මා වූවා නම් මගේ පණ එතැනම අවසන් වනු නිසැකය.
ඉහත උපුටාගැනීම් කිහිපයක් මා සිදු කළේ මට කතාව දැනුන හැටි මෙන්ම, මෙහි සංකල්ප රූප මැවීමට කතුවරයා කොතරම් දක්ෂයෙක්දැයි පෙන්වීමටය. එම චිත්ත රූප මැවීම උචිත වෙනවා සේම ඉතාම අපූර්වත්වයකින් හෙබිය.
පරිසර වර්ණනා හා චරිත හඳුන්වා දීම.
පරිසර වර්ණනා හා චරිත හඳුන්වා දීම කියන කාරණය මා එකට ගත්තේ බොහෝ චරිත හඳුන්වා දී ඇත්තේ පරිසරය හා බද්ධ කරමිනි. ඒ මොහොතේ චරිතයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගනිමින් චරිත ගොඩනංවා ඇත්තේ, පරිසරය හා මනාව සංකලනය කරමින්, එම එක් එක් චරිත කෙරිහි පැහැදිලි චිත්ත රූපයක් මවමිනි.
පරිකල්පනය
සත්‍යය සහ කල්පිතය මනා ලෙස සංකලනය කරමින් අපූර්ව ලෙස ග්ලැසේරා රචනා කර ඇත. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක් මෙලනින්. ඒත් මේ තරම් දෙයක් විය හැකිද? ඇත්තටම මෙහෙම වෙන්න බැරිද? කියලා හිතෙන තැනට පාඨකයාව ගෙන ගොස් ඇත.
"ඔහු තම අතීතය නැවත ස්මරණය කරන්නට උත්සාහ ගන්නට උත්සහ කළේය."
(උපුටාගැනීම 25 පිටුව)
'උත්සාහ ගන්නට' අනවශ්‍යය බව හැඟුණි. කියවාගෙන යද්දි එකවරම එතනදී වෙහෙසකර බවක් දැණුන අතර රස හීන වී ගිය බවක් දැනුනේ ඇති වූ බාධාව නිසාය. එවැනි දෝශ කිහිපයක් දකින්නට ඇත.
"හ්ම්ම්... ඒ වේලාවේ මෑඩ් මැක්ස් ලිලීගේ බෙල්ලට පිහිය තියාගෙන හිටියේ."
(උපුටාගැනීම 334 පිටුව)
මේ ස්ටීවන් තමා වීරයෙක් ලෙස හුවා දක්වමින් ප්‍රකාශය කරන අවස්ථාවයි. ඔහු පවසන්නේ මැක්ස් ලිලීගේ ගෙලට පිහිය තද කරගෙන තර්ජනය කළ බවත් පසුව ගෙල කපා මරණය සිදු කළ බවත්ය. එම නිසා තමාගේත් හනාගේත් ආරක්ෂාව වෙනුවෙන් මැක්ස්ව මරා දැමුණු බවත්ය. මෙතන මට යම් අතාත්ත්වික බවක් දැනුණාය. මට හිතුණේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ට ගෙල කැපුණු ආකාරය පරීක්ෂා කිරීමෙන් සහ දිශාව පරීක්ෂා කිරීමෙන් එය බොරුවක් බවට හඳුනා ගන්නට බැරි වූවාද කියාය. ලිලීගේ මරණය ගැන කියවද්දි මගේ හිතේ මැවුණු චිත්ත රූපය මැක්ස් වැටෙද්දී පිහිය සිරස් අතට ඇගේ ගෙල පැත්තකින් කපාගෙන යන්නට ඇති බවකි. නැත්නම් පිහියේ උල් කොටස ගෙල පසාරු කරගෙන යන දර්ශනයකි. නමුත් කෙනෙකුගේ ගෙල කපද්දි බෙල්ලට යටින් තිරස් ආකාරයට පිහිය තබා තද කර අදියි. එම නිසා එතන පොඩි අතාත්ත්වික ගතියක් දැනුනාය. මේ කී කාරණා ඇරෙන්නට වෙන කතාවෙහි කිසිම අඩුවක් මම නොදැක්කෙමි.
සාමාන්‍යයෙන් පිළිගත් මතයක් වන්නේ පරිවර්තන කෘති ස්වතන්ත්‍රවලට වඩා විශිෂ්ට බවකි. බහුතරයකගේ පිළිගත් මතය එය වුවත් ස්වතන්ත්‍ර කතුවරයාට තමන් ලියන කතාවේ චරිතවලට තම හිතේම තිඹිරිගෙය නිර්මාණය කිරීමට සිදුවෙනවා පමණක් නොව එම චරිත එක්ක ගැටෙමින් කතුවරයා මුළු කතාවම නිර්මාණය කළ යුතුය. එලෙස බැලූ කළ පරිවර්තන කෘතියක සේ භාෂාව හසුරවමින් ස්වතන්ත්‍ර නිර්මාණයක් කළ කේෂාන් හරේෂු මහතා සැබෑම දක්ෂයෙකි.
මට දැනෙන්නේ අනිවාර්යයෙන්ම ග්ලැසේරාටත් දෙවෙනි නැවතුමක් තිබිය යුතුය. එය එසේ වුවහොත් ලාර්ස් එහි වගකිවයුතු චරිතයක් වනු ඇත. මක් නිසාද මෙහි වඩාත්ම අසාධාරණයට ලක් වූ චරිතය ලාර්ස් වෙන නිසාය. අනිවාර්යයෙන්ම ඔහුගේ සිතේ පළිගැනීමේ බීජය දලු ලා වැඩෙනු ඇත.
සමස්තයක් ලෙස ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස පැසසුම් කටයුතුය. මුළු කතාවම කියවාගෙන යද්දි එකම මොහොතකටවත් පොත තියන්නට නොසිතේ. සැබැවින්ම මත්ද්‍රව්‍යයක් සේ ඇබ්බැහිකාරකය. සලරුවක සේ චිත්ත රූප මවමින් කතාව දිව යන්නේ ඉතා අපූර්ව ලෙසිනි. පාඨකයාගේ ජීවන දෘෂ්ටිය දියුණු කරන්නකි. ආනන්දයෙන් පටන්ගෙන දැනුමින් අවසන් වෙන ඕනෑම නිර්මාණයකින් පාඨකයාගේ ජීවන දෘෂ්ටිය නඟා සිටුවන්නකි. ග්ලැසේරා කෘතියද එවැනිම කෘතියකි. මා වඩාත්ම ප්‍රිය කරන්නේ මෙහි අවසානය ගැන කතා කිරීමටය. නමුත් කතු තුමාගේ ඉල්ලීම මනසේ රැව් දෙන නිසා එලෙස නොකරන්නෙමි. සියල්ල එක් කරගෙන ආ අවසානය පිපුරා යාමකි.
මේ ආදි වශයෙන් ගොඩනැගෙන ග්ලැසේරා නවකතාව ගැන විවිධ ප්‍රවේශයන් ඔස්සේ කතා කිරීමට පුළුවන. නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සහෘදයාගේ මනස එක්තැන්කොට ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. උපරිම සහෘද ආකාර්ශණය දිනාගැනීමෙන් කතාවේ අවසානය දක්වාම පාඨකයා රඳවා ගැනීමට නවකතාකරු ගත් උත්සහය සාර්ථකය. ඒ අනුව පාඨකයා තුළ මනෝමය භාෂණයක් ඇතිකිරීමට තරම් උසස් ආකාරයෙන් නවකතාවේ යම් යම් ස්ථාන තුළින් නිරූපිතය.
ස්තූතියි...
පොසිකා රණසිංහ -
★★★★★ Best book. Keshan Hareshu is a good writerBest book. Keshan Hareshu is a good writer
-
dsdasdsdsadasd
-
Superb ❤️Superb ❤️
-
ග්ලැසේරාග්ලැසේරා
-
Karthu assana samaga one.Good book