ගී කාව්යා මීමාංසා
“ගී කාව්ය මීමාංසා” නම් මෙම කෘතිය අපේ සිංහල සාහිත්යයේ සමාරම්භක අවධියෙහි පැවැති කවි කලාව පිළිබඳ ව අධ්යයන කීපයකින් සමන්විත වන්නකි. මහින්දාගමනය හා සමඟ ඇරැඹුණැයි සාමාන්යයෙන් සැලකෙන සිංහල සාහිත්යයෙහි නිර්මාණාත්මක පක්ෂය ගද්ය කෘතිවලින් සමන්විත වූයේ බුදුසමයෙහි ප්රභාව ඒ සෑම නිර්මාණයක ම පාහේ ප්රකට කරවමිනි. අපේ පැරැණිතම ගී කාව්යයන් ලෙස සැලකෙන කිරින්ද, කොස්සගම කන්ද වැනි තැන්වලින් ලැබෙන බ්රාහ්මී සෙල්ලිපි පද්ය විලාසයෙන් ඉදිරිපත් කැරුණේ බෞද්ධ තේමාවක් ම ඇතුළත් කොට ගෙන බව දනිමු. එසේ ඇරැඹුණ ද පසු ව ක්රමයෙන් ගිහි ජීවිතයේ අවශ්යතා අනුව කවිය හැඩ ගැසුණු අයුරු සීගිරි ගී නිර්මාණායන්ගෙන් ප්රකට වේ. අනුරාධපුර අවධියෙහි අපේ මුල් ම කාව්ය නිර්මාණ “ගී” ස්වරූපයෙන් ම පබැඳුණු අයුරු ඉතා වැදගත් සංසිද්ධියකි. එම ගී කාව්ය සම්ප්රදාය වැ.ව. දහතුන්වන සියවසේ කව්සිළුමිණ මහා කාව්යය බිහිවන තෙක් ම පැවැතුණි. එම ගී කාව්යයෙහි ගමන් මඟ මෙ “ගී කාව්ය මීමාංසා” කෘතිය මඟින් සීගිරි ගී, සියබස්ලකර, මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ ආදි වශයෙන් විවරණය කිරීමෙහි ලා මහාචාර්ය රෝහිණී පරණවිතාන විසින් ගෙන ඇත්තේ ප්රශස්ත ව්යායාමයකි. එසේ සමස්ත ගී කාව්ය සම්ප්රදාය ම විමර්ශනයට භාජනය කරන මෙතෙක් පළ වී ඇති එක ම කෘතිය මෙය වේ.
මෙම කෘතියෙහි කතුවරිය වන සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන පේරාදෙණිය විශ්වවිද්යාලය විසින් බිහි කරන ලද විශිෂ්ට විද්වත් පරපුරට අයත්, ස්වකීය ශාස්ත්ර විඥානය මනාව ප්රකට කරමින් දිගින් දිගටම ශාස්ත්රීය කර්තව්යයන්හි නිරත ව සිටින්නියක ලෙස ප්රකට චරිතයකි. තම ප්රථම උපාධිය ප්රථම පංති ගෞරව උපාධියක් ලෙස දිනා ගත් ඈ පසු ව කොළඹ විශ්වවිද්යාලයෙන් ආචාර්ය උපාධිය ද දිනා ගත්තාය. මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර සහ මහාචාර්ය හේමපාල විජයවර්ධන ආදී වූ විශිෂ්ට පණ්ඩිතවරුන් යටතේ ශිල්පෝද්ග්රහණයෙන් ඈ ලැබූ පරිචය මෙම කෘතියෙහි මනාව පිළිබිඹු ව ඇත. විශේෂයෙන් ඈ දශක හතරකට අධික කාලයක් සේවය කළ කොළඹ විශ්වවිද්යාලයේ සිංහල අධ්යයනාංශයේ සිටිය දී මහාචාර්ය හේමපාල විජයවර්ධනයන් ඇසුරෙන් සංස්කෘත කාව්ය සම්ප්රදාය පිළිබඳ ව මෙන් ම ගී කාව්යයෙහි විශේෂතා පිළිබඳ ව ලැබූ දැනුම් සම්භාරය මෙම කෘතිය සම්පාදනයේ දී උපයෝගී වී ඇත. මහාචාර්ය පරණවිතාන මහත්මිය දැන් සිංහල ශබ්දකෝෂයේ ප්රධාන කර්තෘ ධුරය හොබවන්නී ය.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
සම්මානිත මහාචාර්ය
පේරාදෙණිය විශ්වවිද්යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.