අයිරාංගනී
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අර්නස්ට් තලෙයසිංහම් මැකින්ටයර් 1974 දී ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට පෙරාතුව ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කොට ගත් ප්‍රතිභාශීලී නාට්‍ය කරුවෙකු ලෙස ලාංකික රසිකයන් අතර තහවුරු වී සිටියේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වන The Education of Miss Asia (ආසියා රූ රැජිනට ගුරුහරුකම්) (1963) හා Mad and Grotesque Comedy (උමතු හා විකෘති විකට නාටක) (1974), නමැති කෘති දෙක මගින් ඔහු 1971 වසරේ උද්ගතවූ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සටනට හේතුභූතවූ ලංකාවේ පැවති සමාජයීය තත්වයන් නාට්‍යානුසාරයෙන් විග්‍රහයට ලක් කළේය. ඔහු නිෂ්පාදනය කළ The Caucasian Chalk Circle, Othello, Hamlet හා Death of a Salesman යන (ඉංග්‍රීසි) නාට්‍ය නාගරික සිංහල නාට්‍ය කලාව කෙරෙහි විශේෂයෙන් බලපෑ අතර ඔහු වසර දශකයකට අධික කාලයක් හෙන්රි ජයසේනට සහයෝගීව සිංහල නාට්‍ය කලාවට සම්බන්ධ විය. හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව නාට්‍යයේ දර්ශන සියයක් ඉක්මවා ඔහු රඟපා ඇත. ඕස්ට්‍රේලියාවේ පදිංචිවූවාට පසුවත් ඔහු ලංකාවේ නොකඩවා ඉස්මතුවූ අසහනතාවයන්ට ප්‍රතිචාර දක්වමින් ලංකා නාට්‍ය කලාව හා තමන් අතර පැවති සම්බන්ධතාව තවදුරටත් ගෙනගියේය. කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවට නියමිත කෘතියක් වන Rasanayagam's Last Riot (රාසනායගම්ගේ අවසාන කැරැල්ල) (1990) නාට්‍යය මගින් ඔහු 1983 වසරේ සිදුවූ දෙමළ විරෝධී කෝලාහලය විග්‍රහයට පාත්‍ර කරන අතර ඔහුගේ තවත් නිර්මාණයක් වන He Still Comes from Jaffna (ඔහු දැනුත් එන්නේ යාපනයෙන්) (2006) නමැති නාට්‍යයේ අවසාන ජවනිකාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) යුද්ධයේ ලබන පරාජය ඇත්ත වශයෙන් 2009 වසරේදී සිදුවන්නට පෙර කල්පිත නාට්‍ය ස්වරූපයෙන් පිළිබිඹු කර ඇත. තවද අප ජීවිත කාලය තුළ සිදුවී ඇති ඛේදාන්ත අරමුණු කොට ඔහු විසින් රචිත අයිරාංගනී (Irangani) (2012) නාට්‍යයට එම වසරේ ලියැවුණු විශිෂ්ටතම නාට්‍යය ලෙස 2013 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. මේ එහි සිංහල අනුවාදයයි. ඔහුගේ අලුත්ම කෘතිය වන The Lost Cūlavamsa (නැතිවූ චූලවංශය) (2016) නාට්‍යය එකම දෙමාපියන්ට දාව එක්කුස උපන් සොහොයුරන් දෙදෙනෙකු සමාජයීය වාතාවරණය නිසා සිංහල හා දෙමළ වශයෙන් එකිනෙකාට වෙනස් ජනවර්ගවලට උරුමකම් කීම පිළිබඳව හාස්‍යෝත්පාදක නාට්‍යයකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.