ක්ෂණ නියාම
මම්මට නමැති කාව්‍ය න්‍යායවාදියා මෙසේ කියා ඇත:
"ශබ්දයන්හි අනේක ප්‍රකාර අර්ථ ඇත. කවියා වෙනත් ශබ්ද සමග සංයෝග කරන ආකාරයෙන් ශබ්දවල වාච්‍යාර්ථ හෙවත් ප්‍රකට අර්ථ වැලැක්වී අප්‍රකට වූ අමුතු අර්ථ උපදී. රසාස්වාදයට හේතු වන්නේ මේ අමුතු, අදිසි, අරුම, විසිතුරු අරුත් ය."
මෙසේ මතු වන මේ අර්ථය සොඳුරු ලියන් තුළ ඇති සේ හැඟෙන්නා වූ ලාවණ්‍යට සම කර ඇත. ඒ ලාවණ්‍යය තනි තනි ශරීරාංග ද පැළඳ සිටින කටකකුණ්ඩලාදි ආභරණ ද ඉක්මවා ඒ සියල්ලේ සංකලනයෙන් හමා එන සුවඳක් වැන්නකිත එය අවට හමන රෝස මලක සුවඳ වැන්න.
කාව්‍යරචනාවත් රසවිඳීමත් යන දෙක ම මේ සූක්ෂ්ම වාග්ව්‍යාපාරයේ නිරත වීම ම වන්නේ ය. මෙය සාර්ථක වීමට නම් පදසංකලනයන්හි ලාවණ්‍යය කවියාගේ ද රසිකයාගේ ද ස්නායු පද්ධතිය විනිවිද ගොස් අධ්‍යාත්මය නමැති රංගපටයෙහි පුනර්ටනය කළ යුතු ය. මේ සඳහා දීර්ඝ කාලයක් තිස්සේ නා නා කාව්‍ය සමග සම්පර්කයට පත් වීම අනිවාර්ය වේ. මෙය කාලයත් ශ්‍රමයත් ධනයත් එක සේ කැප කළ යුතු වූ කර්තව්‍යයකි.
අද ශ්‍රී ලංකාවේ පළ වන බොහෝ කවි ශුෂ්ක නීරස ඒවා වන්නේ ඒ කවීන් මේ දීර්ඝ දුක්බර පෙරුම් පිරීම් කර නැති බැවිනි.
1984 සිට අද තෙක් නන්දන වීරසිංහයන් ගෙවා ආ කවි මග විමසා බැලුව හොත් ඔවුන් මේ පෙරුම් පිරීම, දුෂ්කර ක්‍රියාව, අත්තකිලමථය අනලස් ව කර ඇති බව පෙනේ. ඔවුන්ගේ කාව්‍ය භාෂාවෙහි ආනුක්‍රමික විකාශනයක් දක්නට ලැබෙන්නේ එහෙයිනි.
මහාචාර්ය සුචරිත ගම්ලත්
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.