සමාන්තර ලෝක සැරිසර - SPELLBINDER
කාලතරණ බෝට්ටුව මත සිටගත් කැතී මෝගන් නුහුරු නුපුරුදු පරිසරය දෙස විමසිලිමත් ව බලා සිටියා ය. බෝට්ටුව නතර වී තිබෙන්නේ පයින් ගස්වලින් පිරී ගිය ඝණ වනාන්තරයක් මැද ය. කටුක ගන්ධයකින් පිරී සුළං දහරාවන් හමා යයි. මේ ආකාරයේ දුහුවිලි සුවඳ හා යුකැලිප්ටස් ගස් වල සුවඳ මුසුවූ වාතාශ්‍රයක් ඕස්ට්‍රේලියාවේ වනාන්තරවලදී නොදැනෙයි. මෙහි කුරුල්ලන් හඬ නඟන්නේ ද වෙනස් ම රිද්මයකිනි. තමන් සිටින්නේ ඕස්ට්‍රේලියාවේ නොවන බව කැතී ට වැටහිණි. නිසැක වශයෙන් ම මේ වෙනත් සමාන්තර ලෝකයකි.
කාලතරණ බෝට්ටුවේ සුණු විසුණූ වූ පාලක උපකරණය තුළින් සිහින් දුමක් නැගී එයි. කැතී ගේ මිතුරා මෙන්ම කාලතරණ බෝට්ටුවේ නිර්මාණකරුවා වූ මෙක් පාලක උපකරණයේ ඇති පළිඟුවලින් සාදන ලද පාලක කුළුණු පරික්ෂා කරමින් සිටියි. බෝට්ටුවට සිදුව ඇති හානිය එතරම් භයානක නොවේවා යැයි කැතී යටි සිතින් ප්‍රාර්ථනා කරන්නී ය. මෙක් ගේ ලෝකයේ සිට සිය පවුලේ සාමාජිකයින් වෙසෙන පෘථිවිය දක්වා ගමන් කිරීමට ඔවුන් ට තිඛෙන එකම මාර්ගය මේ කාලතරණ බෝට්ටුව බව කැති දනියි.