ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු
පසළොස්වන සියවසෙහි දී බලවත් යුරෝපීය ජාතීන් අතුරෙන් බහුතරයක් ස්වකීය දේශ සීමාවන් ඉක්මවා යන්නට පටන් ගත්තෝ ය. ප්‍රථම කොටම පෘතුගීසි සහ ස්පාඤ්ඤ ජාතිකයෝ ද අනතුරුව ඕලන්ද, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයෝ ද පැමිණි අතර ඒ සියල්ලෝ මුහුදින් එතෙර අධිරාජ්‍යවලට අත්තිවාරම් දැමූහ. ඒ අධිරාජ්‍යයන් පවත්වාගෙන යාම පිණිස ඔවුහු සුදුසු ස්ථානවල බලකොටු ද ඉදිකැර ගත්හ. ඒ බලකොටු බොහොයක්ම මේ වන විට අභාවයට ගොස් හෝ අතුරුදන් වීගොස් ය. කෙසේ හෝ වේවා ඒ අතරින් එක්තරා කාණ්ඩයක් අද දක්වාත් ඉතිරිව ඇත්තේ ය. ඒ වනාහි ක්‍රි. ව. 1600 - 1700 වකවානුවෙහි ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශවල ඉදි කරන ලදුව අද දක්වාත් අංග සම්පූර්ණ අයුරින් සුරැකිව පවත්නා බලකොටු ජාලයයි. යටත් කරගත නොහැකි වූ කන්ද උඩරට පළාත්වල සිංහලයන්ගෙන් ද, විරුද්ධවාදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ පෙරදිග ඉන්දියාවෙළඳ සමාගම්වල ද තර්ජනවලටත් බලපෑම්වලටත් ඔරොත්තු දිය හැකිවන අන්දමට මෙකී ශ්‍රී ලාංකීය බලකොටු සැලසුම්සහගතව ඉදි කර තිබුණේය. සංඛ්‍යාවෙන් හතළිහක් පමණ වූ ඒ බලකොටු වෙරළ ආසන්නයෙහි අර්ධද්වීපයක් නිමැවෙන සේ උස්ප්‍රාකාරවලින් වට කරන ලද නගර වැනි දිගු පුළුල් ඉදිකිරීම්වල සිට දියමං සන්ධිවල ඉදි වූ සාමාන්‍ය ආරක්ෂක මුරපලවල් දක්වා වූවිවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත විය. දක්‍ෂ වූත් විචක්‍ෂණ වූත් නිර්මාණශීලීත්වය විදහා දක්වන ඒ ඉදිකිරීම්වල සැලසුම් විවිධ විය.
දෙවන ලෝක සංග්‍රාමයට පෙර, තමන් කොළඹ නගරයේ වරලත් ගණකාධිකාරී වරුන්ගේ ආයතනයක සේවය කරමින් සිටි වකවානුවෙහි දී, ඉංග්‍රීසි ජාතික ඩබ්ලියු. ඒ. නෙල්සන් විසින් මෙම ලන්දේසි බලකොටු පිළිබඳව සකස් කොට සංග්‍රහ කරන ලද THE DUTCH FORTS OF SRI LANKA නම් මාහැඟි ග්‍රන්ථය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි බොහෝ දුරට ගිලිහී ගිය පරිච්ඡේදයක වැදගත් තොරතුරු අප ඉදිරියෙහි දිග හරියි.
සිය පරිවර්තන අඩවිය ලෙස යටගියාවේ උරුමය කණිමින් සිටින නිස්සංක පෙරේරා, මේ වන විට යටත්විජිත යුගයේ රචිත කෘතීන් රැසක් පාඨකයා හමුවට ඉදිරිපත් කර තිබේ. සෙලිග්මාන්ගේ 'වැද්දෝ', හෙන්රිපාකර්ගේ 'පුරාණ ලංකාව', 'ගැම්මැද්දේ ජනකතා', කේවිගේ 'දහනව වන සියවසේ ලංකා සංචාරයක්' මෙන්ම 'පෘතුගීසි ආක්‍රමණිකයින්ගේ දින සටහන්' හා 'සිව්වසරක් වනගතව', යන පරිවර්තන කෘති වරක් කියවූ පාඨක සිත්හි දිගුකලක් ඇසුරු කරන ඥාතීන් වැන්න. ඒ පරිවර්තනයේදී බස - රස මෙන්ම අරුත් ද ජීවයෙන් සුපෝෂණය කිරීමට නිස්සංක පෙරේරා සතු නිසඟ හැකියාව හේතුවෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.