Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුරූපිනියගේ මරණය

සුරූපිනියගේ මරණය

About this book

සෙන්ට් මේරි මීඩ් ගම්මානය කළඹමින්, විශ්‍රාමික හමුදා කර්නල් බන්ට්‍රිගේ නිවසේ පුස්තකාලයේ තිබී හමුවන්නේ නන්නාඳුනන තරුණියකගේ මළ සිරුරකි.

ඒ පිටුපස ඇති අබිරහස කුමක් ද?

වියපත් ජේන් මාපල් මෙනෙවිය මෙම පලහිලව්ව විසඳීමට ඉදිරිපත් වන්නේ සිය මිතුරියගේ ඉල්ලීමටයි.

ගල් කොරියක තිබී හමුවන තවත් මළ සිරුරක් සමඟම පොලිසිය සංකීර්ණ ගැටලුවකට මැදි වේ.

මෙම සූක්ෂම අපරාධයන් පසුපස සිටිනා මහ මොළකරුවන් හෙලි කරගැනීමට මාපල් මෙනෙවියට හැකි වේද?

“අම්මයි මාමයි කැමති නැහැ සීයා ජොසී ගැන වද වෙනවාට. මම හිතන්නේ...” පීටර් කියා සිටියේ රහසින් මෙනි. ‛...ඔවුන් සතුටුයි ඇය මැරුණු එකට..”

මේ වනවිට සුළඟ නැවතී තිබූ නමුත්, ජනෙල් තිරය මඳක් සෙලවී ගියේ ය. ඉන්පසු තිරරෙදි ඈත්වී ඒ මැදින් පෙනී සිටියේ මෙතෙක් වේලා සැඟවී සිටි තැනැත්තෙකුගේ ඡායාවකි !

Details
ISBN
9789553131201
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Good read..
    l සුරූපිනියගේ මරණය
    l The body in the Library
    අප වටා තියෙන්නේ, ගතික වටපිටාවක්. හැම මොහොතක ම, හැම තත්පරයක ම, විවිධ හේතූන් නිසා මේ වටපිටාව වෙනස්වෙනවා. ඒ නිසා ම, අප වටා සිදුවෙන හෝ පවතින ඕනෑ ම දෙයක් එකහෙළා ම පිළිගන්නවා ට වඩා, මුලින් ම ඒ පිළිබඳ ව තමන් ගෙ අවධානය යොමු කරලා, විචක්ෂණශීලී ව ඒ ඕනෑ ම දෙයක් කිරා මැන බැලිය යුතු වෙනවා. මොකද, අපේ වටපිටාව ගැන අප ට තියෙන ඒ අවධානය ම, ඒ වෙනුවෙන් අප තුළ තියෙන විචක්ෂණශීලී ස්වභාවය ම, යම් අවස්ථාවක දී අප ට, නො හිතෙන විදිහට උපකාරයක් වෙන්නත් පුළුවන්.
    Agatha Christie ලියන, 'Miss Jane Marple' කතාමාලාවේ එන 'The Body in the Library' කතාව, ඔබ ව රැගෙන එන්නේ, අන්න මෙ තැනට යි.
    ඒ උදෑසන ඩොලී බන්ට්‍රි සහ ඇය ගෙ සැමියා; කර්නල් ආතර් බන්ට්‍රි අවදිවෙන්නේ, ඔවුන් ගෙ සේවිකාව ගෙන එන බිහිසුණු ආරංචියකින්. ඒ උදෑසන වෙද්දී, සෙන්ට් මේරි මීඩ් ගම්මානය කළඹමින්, ඔවුන් ගෙ පුස්තකාලයේ තිබී නන්නාඳුනන තරුණියක ගෙ මළ සිරුරක් හමුවෙනවා. මේ උභතෝකෝටික ගැටලු ව විසඳන්න ඔවුන් වහා ම පොලීසිය කැඳවුවත් ඔවුන් ද මේ ගැටලු ව සම්බන්ධයෙන් ව්‍යාකූල වෙනවා. කුඩා ගම්මානයක් වුණු සෙන්ට් මේරි මීඩ් කියන්නේ, ඕපාදූප ලැව් ගින්නක් වගේ පැතිරී යන ගම්මානයක්. ඒ නිසා ම ඩොලී බන්ට්‍රි බියවෙන්නේ, මේ ඝාතනය සම්බන්ධයෙන් ගම්වාසීන් සිය සැමියා ව නිකරුණේ සැක කරමින්, ඔහු ව නො සලකා හැර, සමාජයෙන් කොන් කර දමාවි ද යන්නයි. ඉතින් ඇය වහාම, මෙ වැනි ගැටලු විසඳන්න උපන් හැකියාවක් ඇති අයෙක් විදිහට සෙන්ට් මේරි මීඩ් ගම්මානයේ ප්‍රසිද්ධ, ජේන් මාපල් මෙනෙවිය ව කැඳවනවා. ඉතින් මේ දරුණු අපරාධය විසඳන්න, මාපල් මෙනෙවිය ගොසිංටන් වෙත එනවා.
    ඉතින්, මේ නන්නාඳුනන තරුණිය කවුද?
    ඉතින් මේ කතාවේ ආරම්භක ස්ථානය සෙන්ට් මේරි මීඩ් ගම්මානය වුණත්, ඒ ගම්මානයෙන් පිටත ට, චරිත රාශියක් සහ සම්බන්ධකම් රාශියක් ඔස්සේ, මේ මරණයේ අබිරහස පුළුල් ව පැතිරෙනවා. ජේන් මාපල් මෙනෙවිය මේ කතාවේ ප්‍රමුඛ චරිතය වුණත්, ඇය මේ කතාවේ පෙනී ඉන්නේ, ඉතා අඩුවෙන්. ඒ වෙනුවට, කතුවරිය තමන් ගෙ අවධානය, කතාවේ මූල සිදුවීම ක්‍රමානුකූල ව වර්ධනය සහ විකසනය කිරීම වෙනුවෙන් යොදවනවා. අන්න ඒ නිසා ම, රෙඩ්ෆොඩ්ෂයර් පොලීසියේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක කර්නල් මෙල්චට් සහ ඉන්ස්පෙක්ටර් ස්ලැක් සමඟ පාඨකයා ට බොහෝ වේලාවක්, මේ උභතෝකෝටික සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලට සහභාගි වෙන්න සිදුවෙනවා.
    මුලින් ම කතාව ඇතුළෙ දී පාඨකයා, සැලකිය යුතු චරිත ප්‍රමාණයක් එක්ක ගැටෙනවා. ඒ ගැටෙන හැම අවස්ථාවක දී ම, අර නන්නාඳුනන තරුණියගෙ ඝාතනයට වගකිවයුත්තා ඔහු ද, නැත්නම් ඇය ද කියන සැකය, පාඨකයා තුළ උපදිනවා. අවසානයේ දී, හරි ම ඉලක්කය ට තමන් ගෙ සැකයේ ඊතලය විදගන්න බැරි ව, කොටස් අහිමි ව ගිය ප්‍රෙහෙළිකාවක පාඨකයා අතරමං වෙනවා. කොහේ හෝ මඟහැරුණු දෙයක් තිබුණු බව දැනුණත්, ඒ දේ තෝරා බේරාගන්න බැරි ව, පාඨකයා ලතවෙන්න ගන්නවා. කොටින් ම පාඨකයා හරියට, මඩේ හිටවන ඉන්නක් වගේ වෙනවා. කතාවේ සැලකිය යුතු දුරක්, පොලිස් පරීක්ෂකවරු දෙ දෙනා ද සමඟ පාඨකයා එන්නේ, මෙන්න මේ අවිනිශ්චිතතාවයත් එක්කමයි. ඒ තාක්, ජේන් මාපල් මෙනෙවිය සැරින් සැරේට යම් යම් තැන්වල දී සුළු වශයෙන් පෙනී හිටියත්, සෘජු ව ම ඇය මේ වෙනුවෙන් මැදිහත් වෙන්නේ, පාඨකයා තමන් ගෙ ඉලක්කය හොයාගන්න බැරි ව, අයාලයේ යන්න පටන් ගන්නා මොහොතේ දී යි..
    Agatha Christie ගොඩනගන මේ ජේන් මාපල් මෙනෙවිය කියන්නේ, රහස් පරීක්ෂක චරිතයක් නෙවෙයි. ඇය, සෙන්ට් මේරි මීඩ් ගම්මානයේ ජීවත්වෙන, අවිවාහක මහලු කාන්තාවක්. හැබැයි ඇය, ඒ ගම්මානයේ ඉන්න සෙසු පිරිසට වඩා වෙනස්. Agatha මේ චරිතය ගොඩනගන්නේ, බොහෝ වෙලාව ට යථාර්ථයේ දී අප ට පවා මඟහැරී යන, අපේ ම වටපිටාව ගැන අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාවයත් එක්ක. මාපල් මෙනෙවිය, තමන් ගෙ වටපිටාව ගැන හොඳ සෝදිසියෙන් ඉන්නා අයෙක්. ඇය, මනුෂ්‍ය ස්වභාවය ගැන පුද්ගලික ව අධ්‍යනය කරනවා. විශේෂයෙන් ගම්වැසියන් ගෙ චර්යාවන් අධ්‍යනය කරන්න, විශේෂිත චර්යාවන් හඳුනා ගන්න හා ඒ චර්යාවන් ඔවුන් පාලනය හැටි ගැන දැනගන්න ඇය හැමවිට ම උත්සහ දරනවා. පුද්ගල චර්යා විතරක් නෙවෙයි, ඔවුන් ගෙ සිතුවිලි ක්‍රියාකරන හැටි වගේ ම විවිධ අවස්ථාවල දී ඔවුන් තුළ හැඟීම් උපදින හැටි පවා අධ්‍යයන කරන්න, ඇය පෙළෙඹෙනවා. Nelson miller (1995) සහ Zuckerman (1996) යන මනෝ විද්‍යාඥයන් ට අනුව, යම් පුද්ගලයෙක් ට සුවිශේෂී වුණු, සාපේක්ෂ වශයෙන් ස්ථාවර වුණු චර්යා, සිතුවිලි හා චිත්තවේග රටාවන් 'පෞරුෂය' නම් වෙනවා. ඒ අනුව, මාපල් මෙනෙවිය අනුගමනය කරන මේ ක්‍රියාකලාපය නිසා ම, ඇය තමන් වටා ඉන්න පුද්ගලයින් ගෙ පෞරුෂත්වයේ ස්වභාවය ගැන හොඳින් දැනුවත් වෙනවා.
    ඉතින් මේ ඝාතන සිදුවීම, සෙන්ට් මේරි මීඩ් ගම්මානයෙන් ද පිටත ට යද්දී, සිය ගම්මානය තුළ ජීවත්වෙමින් මාපල් මෙනෙවිය උකහා ගත් මේ මනුෂ්‍යය ස්වභාවය ගැන දැනුම, ඒ ගම්මානයෙන් පිටත දී, කිසිදා හමුනොවූ චරිත සසඳන්න වගේ ම ඔවුන් ව හරි හැටි මනින්න, දැනගන්න, හඳුනාගන්න යොදා ගන්නවා. ඇය ගෙ චරිතය සම්බන්ධයෙන් මම වඩාත් ප්‍රිය කරපු දේ තමයි, මේ. ඇය රහස් පරීක්ෂකයෙක් නො වුණත්, හරිහැටි අගක් මුලක් පාදගන්න බැරි ඝාතන සිද්ධියක ගැඹුරට ම ගිහින්, ඊට වගකිවයුතු පාර්ශ්වය නිවැරදි ව හඳුනාගන්න පුළුවන් තරමට ම, ඇය මනුෂ්‍ය ස්වභාවය ගැන දැනුවත්. යථාර්ථයේ දී, අප වටා වෙනස්වෙන මේ වටපිටාව ගැන කිසි ම තැකීමක් අප නො කරන නිසා ම, මේ ජීවිතයේ අප ට මුහුණ පාන්න සිදුවෙන ගැටලු එමටයි. අප වටා එකතුවෙන මිනිස්සු ගැන, ඔවුන් ගෙ හැසිරීම් ගැන, ඔවුන් ගෙ ප්‍රතිචාර ගැන, කොටින් ම ඔවුන් ගෙ චර්යා ස්වභාවයන් ගැන අපි විචක්ෂණශීල වෙනවා නම්, ඒ දැනුවත් වීම ම, අපේ වටපිටාව එක්ක ගනුදෙනු කරන්න අප ට පහසුවක් සලසනවා.
    ඒත්, තමන් ගෙ නිවැරදි අවධානය යොමු කරලා, විවිධ කෝණවලින් සැලකිලිමත් ව විමසා බලා යමක් විශ්වාස කරනවා වෙනුවට, අද සමාජයේ බහුතරයක් ම ඉන්නේ, තමන් දකින, අහන ඕනෑ ම දෙයක් 'ගෙඩිය පිටිය' විශ්වාස කරන අය යි. සමහර ජන සමාජවල මේ 'ඕපාදූප' කියන ඒවා, ඔවුන් ගෙ ජීවනාලිය බව ට පත්වෙන්නෙත් අන්න ඒ නිසයි. නිවැරදි දැක්මක් නැති ව, කිසි ම ඉවක්බවක් නැති ව, තමන් ගෙ අතේ තියෙන මුෂ්ටිය හතර අතේ වන වනා ඕනෑ ම කෙනෙක් ට පහර පිට පහර දෙන්න ඇත්නම්, ඒ තරම් සතුටක්, ඒ තරම් වින්දනයක් ඔවුන් ට නැහැ. සමාජයේ මෙ වැනි තත්වයක්, ඇත්තට ම භයානයකි. මොකද, අප වටා ඇති ඕනෑ ම දෙයක් වෙනුවෙන් අපි විචක්ෂණශීලී වෙන්නෙ නැත්නම්, එය තව කෙනෙක් ට හානිදායක වෙන්නත් පුළුවන්. සෙන්ට් මේරි මීඩ් ගම්මානයේ ජීවත් වුණු බන්ට්‍රි යුවළ ට, මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මුහුණ දෙන්න සිදුවෙන්නෙත් මෙන්න මේ වගේ අත්දැකීමකට. සමාජයේ මෙ වැනි හැසිරීමක්, යමෙක් ගෙ ජීවිතය ට කරන හානිය ගැන කතාවක්, Agatha අප ට එයාකාරයෙන් කියනවා.
    මුදල් කියන්නේ, බොහෝ අපරාධ වල ට මූලික වෙන කරුණක්. ධනය ට ලොබ බදින අයෙක්, තමන් ට අත්වෙන්න තියෙන මූල්‍යම ය වාසියක් ​වෙනුවෙන් තවත් කෙනෙකු ගෙ ජීවිතයක් බිලි ගන්න අවශ්‍යයි නම්, ඊට දෙ වරක් සිතන්නේ නැහැ. සමහර තැන්වල දී, මේ මුදල් කියන්නේ, තමන් ගෙ පාලනය තමා'තින් ම උදුරාගන්නා මරණීය යක්ෂයෙක්. ධනය ට ඇති ඒ කෑදරකම නිසා ම, ඔවුන් ඒ යක්ෂයා ගෙ ගොදුරක් බවට පත්වෙන්නේ, වෙන්නේ නිරායාසයෙන් ම යි. ඒ වගේ ම සමාජය තුළින් මනුෂ්‍යත්වය පිරීහි යන්න දැඩි ව බලපාන කරුණු අතරින් එකක්, මේ. මුදල ට, ධනය ට ඇති අධික ආශාව ම, මේ මනුෂ්‍යත්වය පිරීහි යන්න හේතුවක් වෙනවා. මාපල් මෙනෙවිය තමන් ගෙ පාඨකයා ව අරගෙන යන්නෙ මෙන්න මේ වගේ පසුබිමක් මතින්. ඉතින්, ඔබ අවදියෙන් ඉන්නවා නම්, යථාර්ථයේ දී පවා අප දකින, අසන මිනිස් චරිත, මේ කතාවෙන් ඔබ ට හමුවෙන්න පුළුවන්.
    ඉතින් සමස්තයක් විදිහට Agatha හොඳ අබිරහසක් මේ කතාව ඇතුළෙ නිර්මාණය කරනවා. කතාවේ එන බොහෝමයක් චරිත විවෘත චරිත නෙවෙයි. බාහිර සමාජය වෙනුවෙන් එක චරිතයකුත්, තමන් ගෙ අභ්‍යන්තරයේ තව චරිතයකුත් ඔවුන් පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා ම, කතාවේ එන ඕනෑ ම චරිතයක ට, මේ ඝාතනය සිදුකරන්න හේතුවක් තියෙනවා ය කියන තැන ට තමන් ගෙ කතාව ක්‍රමයෙන් අරගෙන එන්න, කතුවරිය ට හැකිවෙනවා. ඒ වගේ ම වින්දිතයා ගෙ අනන්‍යතාවය පවා ගැටලු සහගත වෙන තැනක ට ඇය අප ව රැගෙන යනවා. අවසානයේ දී, අනපේක්ෂිත අවසානයක ට ඇය අප ව තල්ලු කර හරිනවා.
    1890 වර්ෂයේ සැප්තැම්බර් 15 වැනිදා එංගලන්තයේ ඩෙවෝන් හී දී උපත ලබන ඇය, Dame Agatha Mary Clarissa Christie, Lady Mallowan ය. Agatha Christie විදිහට ලෝව ප්‍රකට ඇය සැලකෙන්නේ, රහස් පරීක්ෂක ප්‍රබන්ධ වල ස්වර්ණමය යුගයේ සිටි, 'රහස පරීක්ෂක කතා රැජිණ' විදිහට. ඇය ගෙ, ඉංග්‍රිසියෙන් ලියැවුණු පොත් පිටපත් කෝටි සියයක් ද, විවිධ භාෂා වලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක් ද සාහිත ලොවට එක්වෙලා තියෙනවා. බයිබලය සහ ශේක්ෂ්පියර්ගේ කෘති හැර, එතෙක් මෙතෙක් ලොව වඩාත් ප්‍රකාශිත කෘති වන්නේ ද ඇගේ කෘතීන්. ඇය 'Agatha Christie' නම් තමන් ගෙ නියම නාමයෙන් රහස් පරීක්ෂක කතා 66 ක් ද, කෙටි කතා 14 ක් ද රචනා කරනවා වගේ ම, තමන් ගෙ අන්වර්ථ නාමයෙන්; 'Mary Westmacott', ප්‍රේම වෘතාන්ත 6 ක් ද රචනා කරනවා. ධනවත්, ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපත ලබන ඇය වැඩි කාලයක් අධ්‍යාපනය හදාරන්නේ, තම මවගෙන්. පළමු ලෝක යුද්ධ සමයේ දී ඇය හෙදියක් විදිහටත් සේවයේ යෙදෙනවා. ඒ අතරවාරයේ දී ඇය, රහස් පරීක්ෂක කතා ලිවීම ආරම්භ කරනවා. ඒ නිසා ඇගතා ක්‍රිස්ටිගේ කෘතිවල, ඇය ලෝක ⁣යුද්ධ සමයේ දී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් වල ඦායාමාත්‍ර පවා බොහෝවිට දකින්න පුළුවන්.
    මුලදී, අසාර්ථක ලේඛිකාවක් විදිහට හය වරක් අඛණ්ඩව ප්‍රතික්ෂේප වෙන ඇය අතින් ලියැවෙන, රහස් පරීක්ෂක Hercules Pirot ගේ චරිතය මූලික වූ 'A Mysterious affair at style' නම් කෘතිය, 1920 වර්ෂයේ දී ප්‍රකාශය ට පත් වීමත් එක්ක ම, එතෙක් පැවති වාතාවරණය උඩුයටිකුරු වෙනවා. ඇගේ අනෙක් ප්‍රධාන රහස් පරීක්ෂක චරිතය; Miss Marple, මුල්වරට පෙනී ඉන්නේ, 1930 වසර දී ප්‍රකාශ කෙරුණු, 'Murder at the Vicarage' කෘතියෙන්. ඒ වගේ ම ඇගේ නාට්‍යයක් වුණු, 1952 දී රඟ දක්වපු 'The Mouse Trap' වේදිකා නාට්‍ය, වසර 21 ක් මුළු⁣ල්ලේ, ලන්ඩනයේ 'The Ambassadors theater' හි දර්ශන වාර 8862 ක් පෙන්වමින්, ලොව දීර්ඝත ම, අඛණ්ඩ ආරම්භක ධාවනයක් ඇති නාට්‍යය ලෙස වාර්තාවක් ද තබනවා. 1971 දී, සාහිත්‍ය වෙනුවෙන් කළ දායකත්වය වෙනුවෙන්, දෙවැනි එලිසබෙත් රැජිණ විසින් ඇයව, DBE (Dame Commander of the Most Excellent Order of the British Empire) දක්වා උසස් කරනවා. 1985 ජනවාරි 12 වැනිදා ඇය මියයද්දී, ඇය අවුරුදු 82 ක් ආයු වළදා සිටියා. 'The Body in the Library' කියන්නේ, 1942 දී පළ කෙරුණු, Miss Marple කතාමාලාවේ දෙවැනි කතාංගය යි.
    Agatha Christie ගෙ මෙම නවකතාව 'සුරූපිනියගේ මරණය' නමින් සිංහල බසට පෙරළෙන්නෙ, ගයාන් සම්පත් වනිගනෙත්ති අතිනුයි. 'එජ්වේ සාමිවරයාගේ මරණය' නමින් ඔහු කළ, ඔහු කුළුදුල් ම පරිවර්තනය, සිත්ගන්නා සාර්ථක එකක්. ඇගතා ව කියවන සිංහල පාඨකයින් අතර ඇති ප්‍රතිචාරය, එතරම් යහපත් නැති බව රහසක් නෙවෙයි. ඒ බොහෝමයක් පරිවර්තන, ඒවා යෙ ඇති සැලකිය යුතු තරමේ දෝෂ නිසා, අසාර්ථකයි. Agatha Christie ගෙ කෘති ගුණාත්මක ව පරිවර්තන කරන ලේඛකයින් නැතුවා ම නෙවෙයි. නමුත් ඒ, අතලොස්සක ප්‍රමාණයක් විතරයි. ගයාන් සම්පත් වනිගනෙත්ති ද ඒ අ​තලොස්ස ට ඇතුළත් වෙන්නේ නිරායාසයෙන් ම යි. සිය මුල් ම පරිවර්තනයත් එක්ක, පරිවර්තනයක හැඩය, ගුණය, රසය ඒ විදිහට ම ග්‍රහණය කරගන්න තමන් ට තියෙන හැකියාවේ තරම ඔහු පෙන්වනවා. මේ පරිවර්තනය තුළත් ඔහු ඒ ගුණය රැක තියෙනවා. ඒ වගේ ම Agatha Christie ගෙ කතා කීමේ ශෛලිය ඇයට ම ආවේණික වුණු එකක්. ඒ නිසා අදාළ පරිවර්තකයා, ඒ ශෛලියට අනුගත වීම අනිවාර්යයයි. බොහෝ පරිවර්තකයින් තමන් ගෙ වචන ඔහේ වනමින්, අයාලේ යන පරිවර්තන බිහි කරන්නේ, ඔවුන් නිවැරදි ව ඇගතා ව නො කියවන නිසාම යි. කොහොම වුණත් ගයාන් සම්පත් වනිගනෙත්ති, මේ කාර්යය වෙනුවෙන් හොඳ හැකියාවක් ඇති ලේඛකයෙක් බව ඔහු මේ පරිවර්තනයෙන් ද පසක් කරනවා. හොඳ වාග් කෝෂයක් එක්ක, මනා වාක්‍ය වින්‍යාසයකින් සහ අර්ථ ව්‍යක්ති ගුණයෙන් ද යුතු ව, ඔහු මේ පරිවර්තන කාර්යයත් සම්පූර්ණ කර තිබෙනවා.
    ඉතින් අවසාන වශයෙන්,
    | 'ඕහ්, ඔහුට විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. ඒත් අපි ඔහුගේ පැත්තෙන් හිතලා බලන්න ඕනෑ. ඔහු වගේම අනිත් දෙන්නාත් දරුණු ඛේදවාචකයකට සහ අහිමි වීමකට මුහුණ දුන්නා. සැමියා, බිරිඳ සහ දරුවන් දෙදෙනා අහිමි වුණු තුන් දෙනෙක් එකට ජීවත් වෙනවා. ඒ අහිමි වීම තමයි ඔවුන් තිදෙනාව එකට සම්බන්ධ කරලා තියෙන පුරුක වෙන්නේ. ඒත්, කාලය කියන්නේ - මගේ අම්මා කියන්න පුරුදු වෙලා හිටිය විදිහට, වේදනාවන් අමතක කරවන්න පුළුවන් දෙයක්. ගැස්කල් මහත්මයා සහ ජෙෆර්සන් මහත්මිය තවමත් තරුණයි. ඉතින් කාලය ගත වෙද්දී, මේ තරුණ දෙදෙනා තමන්ගේ අතීතයේ සිදු වුණු ඛේදවාචකයට තිබෙන බැඳීමෙන් මිදෙන්න උත්සාහ ගන්න එක ස්වභාවිකයි....'
    සටහන |
    දුල්ෂාන් සංජය චන්ද්‍රසිරි
    Gayan ·
Write a review

You're reviewing: සුරූපිනියගේ මරණය

Reviews are published once a member of our team has read them.