මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය
ශිෂ්‍ය ඝාතනය හා මිලේච්ඡ පොලිස් ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ විමරන්ත කොමිසමේ සාක්ෂි විභාගයෙන්.....
“පොලිස්කාරයින් මරපියව් ! කාපියව් !” කියමින් පිරිස හැම පැත්තෙන් ම එතනට පිරුණා. එතැන 1,500 ටත් 2,000 ටත් අතර පිරිසක් කලාගාරය පැත්තෙන් (Loge) එක පැත්තෙන් හා හිල්ඩා එක පැත්තෙන් පාරේ හිටියා.
පිරිස තවත් ඉදිරියට ඇවිත් ගල් ගසන්නට වූ විට අප දෙදෙනා එක්වර බැගින් පහලට (සිසුන්ට) වෙඩි තැබුවා. පිරිස දිව ගියේ නැහැ. 300 ක් 400 ක් පමණ හිටියා. ඔවුන් තව තවත් ඉදිරියට විත් ගල් ගැසුවා. නැවත වරක් අපි දෙන්නා වෙඩි තැබුවා. එවිට.
“පොලිසිය වෙඩි තබනවා...” යැයි කෑ ගැසූ පිරිස සී සී කඩ විසිර ගියා. අපි ඉදිරියට ගියා. වටරවුම අසල තුවාලලත් කෙනෙකු වැටී සිටිනු දක්නට ලැබුණා. ඔහු කළු කොට කලිසමක් ඇඳ සිටි අතර උඩුකය කිසිවක් නොවීය. පිටේ තුවාලයකින් ලේ ගලමින් තිබුණා. ඔහුට වෙඩි වැදී ඇති බව මම තේරුම් ගත්තා. පසුව ඔහු රෝහලට පිටත් කරන ලදී. ඔහු ජීවත් නොවන බව මට වැටහුණි. මම ඒ ගැන වොන්හාට් (සහකාර පොලිස් අධිකාරි) මහතාට කීවාම ඔහු ටිකක් තිගැස්සුණා පෙනුනා.
මම ඇතුළු පොලිස් පිරිස ගිය වාහනවලට අරුණාචලම් ශාලාව අසලදී ගල් ගැසුවා. අපි ගිය රිය පෙරහරේ වාහනවල ඉඳල ම පොලිසිය වෙඩි තිබ්බා.
රොනී ගුණසිංහ -
(මාතලේ මූලස්ථාන පොලිස් පරීක්ෂක) විමලරත්න කොමිෂණ් සාක්ෂි විභාගය
-
Prof Vithanage and the oppression in the University.1976 නොවැම්බර් 12 හිමිදිරි උදයේ 6.30 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදු වූ වීරසූරිය සිසු ඝාතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සරසවි සිසු ඝාතනය විය. පොලිස් රයිෆල් වෙඩි පහරින් හද සිදුරු වූ වීරසූරිය සිසුවාගේ උණුසුම් ලෙයින් හන්තාන සරසවි අඩවිය එදා තෙත් විය. ඔහු වෙඩි කා ඇද වැටුනේ පේරාදෙණි සරසවියේ නිර්මාතෘ සර් අයිවර් ජෙනිංග්ස් නමින් නම් කර ඇති ජෙනිංග්ස් වටරවුම මතටයි. එම සීතල උදයේ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයට ලක් වූ සංඝයා වහන්සේලා ඇතුළු සිසු සිසුවියන් 200 කට අධික පිරිසකගේ ගලා ගිය ලේ දහරාව ද ඊට එක් විය. 76 නවක සරසවි සිසුන් ලෙස අපට මෙන්ම හැම වසරකම සිටි සිසුන්ට එය අදත් සදා නොමැකෙන සිහිවටනයක් බවට පත් වී හමාර ය. මෙම සටනට උපහාර පිදෙන වාර්ෂික සමරුව නොවැම්බර් 12 දිනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී යෙදී ඇත.
එම රුදුරු ඛේදවාචකයට පසුබිම් වූ සමාජ, දේශපාලන හා සරසවි පාලන තන්ත්‍රයේ ස්වභාවය තම සජීවි අත්දැකීම් තුළින් විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන රාජසිංහ බණ්ඩාරයන්ගේ "මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව නෙරපූ 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය" නැමැති මුද්‍රිත කෘතිය එම සිද්ධිදාමය ප්‍රබල රූ රටාවක් සේ පෙළ ගස්වයි. එම ග්‍රන්ථය අපගේ බුද්ධිමය නිම්වලලු පුළුල් කරයි. මෙම ශිෂ්‍ය අරගලය ගැන දේශපාලන වුවමනාකම් මත හෝ පැලපදියම් වූ මත ඔස්සේ හෝ හඹා යමින් දී ඇති විකෘති හා නොමඟ යවනසු`ඵ ප්‍රකාශන, ලිපි ආදිය මා කියවා ඇති අතර සමස්ත ශිෂ්‍ය සටනේ සැබෑ ඉතිහාසය අලලා ලියවී ඇති එකම කෘතිය මෙය බව මා පසක්කොට ගත්තේ මගේ ම අත්දැකීම් තුලිනි. සිරිමාවෝ ආණ්ඩුවේ පාලනය යටතේ පැවති ජනමාධ්‍ය ශිෂ්‍ය සටනේ සැබෑ තතු ජනතාවට දැනගැනීමට ඉඩ නොතැබීය'
මෙම ග්‍රන්ථය මගින් සිරිමාවෝ බණ්ඩාරනායක තුන් හවුල් රජය 75-76 කාල වකවානුව තුළ සරසවි වෙත මුදාහල කුරිරු මර්දනය විස්තර කරයි.
රාජසිංහ බණ්ඩාරයන්ගේ මෙම කෘතිය විශ්ව විද්‍යාල සිසුන්ට, දේශපාලන ක්‍රියාකාරිකයින්ට මෙන්ම සමාජයේ එදිනෙදා භාවිතාව ගැන උනන්දු කා හටත් ඔවුන්ගේ විමසුම් ඇස හා අර්ථවත් වින්දනය තීව්ර කර ගැනීමට අත්වැලක් වනු නොඅනුමාන ය. -
The history we never forget.....