හිත මිතුරු සෙනඟ
රන් තොටිල්ලක නැගී ජීවන ගගන ගැබ පුරා දෝලනය වන මිනිස් චරිත සමූහයක් පිළිබඳව කියැවෙන ‘හිත මිතුරු සෙනඟ’ නවකතාව මහත් අභිරුචියකින් යුතුව කියවීමි. ‘රන් තොටිල්ල’ නම් ළමා කතාව ඇසුරෙන් ගොඩනැගෙන පාසල් නාට්‍යය කේන්ද්‍ර කොට, එම නාට්‍යය වේදිකා ගත කිරීමේ අපූර්ව සහ පශ්චාත් සිදුවීම් ලෙස සමස්ත කතාව විකාශනය කර තිබීම නවකතාවට නැවුම් රසයක් එක් කිරීමට හේතු වී තිබේ. නවකතාව ආරම්භයේදීම, හැකිනම් මෙය කියවීමට පෙර ‘රං තොටිල්ල’ ළමා නවකතාව කියවා සිටින්නැයි කතුවරයා ඉල්ලීමක් කරන්නේද පාඨකයා තුළ එකී රසය ඉස්මතුකිරීම අරමුණු කරගෙනය.
‘හිත මිතුරු සෙනඟ’ කතුවරයා වන ජී. ඇල්. චන්ද්‍රපාලයන්ගේම නිර්මාණයක් වන ‘රං තොටිල්ල’ ආදර්ශමත් ළමා නාට්‍යයකි. එකී කතාවෙහි කියැවෙන කුඹී පැටිත්තා සහ පළඟැටි පැංචා ඇතුළු චරිත අනතුරුව හිතමිතුරු සෙනඟ අතරට එයි. ඒ ඉහත කී පාසල් වේදිකා නාට්‍යය ලෙසය. ඒ සඳහා දායක වන්නන් වන නිමල් ජයසේකර, සුනිමල් කුලසේකර නම් පාසල් සිසුන් දෙදෙනාද, සිරිතුංග ප්‍රියදේව, බන්දුල සිරිවර්ධන නම් ගුරුවරුන් දෙදෙනාද හරහා කතුවරයා කතාවට සම්බන්ධ අනිකුත් චරිත හා බද්ධ වෙමින් කතාව ගොඩනගයි. ඥාති පවුල් දෙකක් අතර කලක සිට තිබූ බද්ධ වෛරයක් උක්ත නාට්‍යයෙන් ලැබෙන උත්තේජනය මත නිමාවන අයුරු හා මෙම ප්‍රධාන චරිත මෙන්ම ඔවුන් හා බැඳෙන අනිකුත් උප ප්‍රධාන චරිත තුළ ඇතිවන මානසික ගැටුම් හා භාවයන් පිළිබඳව කතුවරයා පාඨකයාගේ මනස තුළ අඳින සිතුවම බෙහෙවින්ම විචිත්‍රය. කතාව සුඛාන්තයකින් යුතු වුවද මිනිස් ජීවිත හමුවට එන විවිධාකාර ගැටළු හා දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවද ඊට ඔවුන් ප්‍රතිචාර දක්වන අන්දම පිළිබඳවද කතුවරයා විග්‍රහයක යෙදෙන අයුරු ප්‍රශස්තය.
ධම්මික එගොඩවත්ත
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.