මරණයේ තැනිතලාව
විප්ලවයෙන් පසු බල්ෂෙවික්වරුන්, ජාතිකවාදීන් හා ප්‍රතිවිප්ලවවාදීන්ගේ සටන් හමුවේ උක්රේන බිම්කඩට උදාවූයේ බියකරු සමයකි. ඛේදවාචකයේ වපසරිය ලොවට හඬ නගමින් කළු පස රතුකර රුධිරය වැගිරුණි. හිමෙන් වැසුණු, වසත්කල තණ පලස මත පැතිර ගිය මරණයේ තැනිතලා රුධිරයේ සලකුණු හොර රහසේ වසං කර දැමුවේය. එනමුදු අදටද අරගලයේ වේදනාත්මක කැළැල් උක්රේනියානුවන්ගේ හදසන්තානය නිරන්තරයෙන් ලැවි ගාන්නේය.
හමුදා සේවයෙන් පෙරළා පැමිණෙන දොස්තර අලෙක්සෙය් තුර්බින් හා ඔහුගේ පවුලේ සාමාජිකයින් පසුපස විපත් හඹා එන්නේ නොසිතු අයුරෙනි. වඩාත් ශෝචනීය වන්නේ ජාතිකවාදීන්ගේ නගර ආක්‍රමණයේදී දොස්තර තුර්බින් හඹා එන ඉරණමයි. ප්‍රාතිහාර්යයක් සේ ඒ ඉරණම "මාල ප්‍රවල්නයා" වීදියේ ලලනාවකගේ දයාභරිත අනුකම්පාවේ දෑතට නොසිතු අයුරින් ඔහුව යොමු කරවන්නේය. එහෙත් ඇයගේ නිවෙසේ දකිනා ගතරුව හා සිය රෝගියාගේ පාපොච්චාරණ සියොළඟ කිලිපොලා යන්නට සලස්වමින් දැඩි සේ ඔහුව පීඩාවට පත් කරන්නේ කවර කරුණක් අරඹයාද? ඒ වීදියේම වූ අසල්වැසි නිවෙසට ඉරණම විසින් යොමු කෙරෙන ඔහුගේ සොයුරු නිකොල්කින්ගේ මෙන්ම අලෙක්සෙය්ගේ ඒ ප්‍රේමාන්විත සංචරණයේ ප්‍රතිඵලය පිළිබඳ හෝඩුවාවක් ග්‍රන්ථයේ නොතැබෙන්නේ අවිනිශ්චිත බිම්කඩක සියල්ල අවිනිශ්චිතය යන පණිවිඩය රැගෙන එමිනි.
ජාතිකවාදි පාලනය බිඳවැටී අනුගාමිකයින් නගරය හැර යද්දී නව බලවේගයක හිරු කිරණ "කීව්" නගරයේ පැලපදියම් වේ. සෝවියට් පාලන ක්‍රමය දෙස විවේචනාත්මකව බලන "බල්ලෙකුගේ හදවත" මෙන්ම "මාස්ටර් හා මාර්ගරිතා" වැනි ප්‍රබන්ධ වලට පෙර බුල්ගකොෆ් නව පාලනය දෙස මේ ග්‍රන්ථයේදී සුබවාදිව බලන්නේ එයින් දුක් ගැහැට, කටුක වේදනා, රුධිරය, සාගතය හා වසංගත පහව යතැයි යන නැවුම් අපේක්ෂාවෙනි. ලොවෙහි මානව ක්‍රියාකාරකම් අවශේෂ නොවන කළද සර්වකාලීන සදාතනික සත්‍යයන් අවශේෂ වන බව පවසන මේ කෘතිය සෝවියට් යථාර්ථවාදය නම් සංකල්පමය සළුවෙන් වැසී මතවාදී හොරණෑවක් බවට පත් නොවූ අකලංක සෝවියට් සාහිත්‍ය කෘතීන් අතර දියමන්තියකි.
Details
-
★★★★★ මහා කෘතියක විශිෂ්ට වූ පරිවර්තනයක්.හිමෙන් වැසුණු උක්රේනියානු බිමේ උණුසුම් දින ගණනාවක් ගත කළෙමි.ඒ මිඛයිල් බුල්ගකොෆ් විසින් රචිත "බේලයා ග්වර්දියා" (ධවල ආරක්ෂකයා) කෘතියේ වෛද්‍ය පුෂ්ප රන්ජන් විජේසිංහ මහතා විසින් රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කල මරණයේ තැනිතලාව සමගිනි.
1918 විප්ලවයෙන් වසරකට පසු බල්ෂෙවික්වරුන්, ජාතිකවාදීන් වගේම ප්‍රතිවිප්ලවවාදීන් නිසා උක්රේන බිමට නැවතත් උදාවෙන්නේ බොහෝ බියකරු සමයක්. ඉතින් මේ අරගලයේ වේදනාවන්, විපත්තීන් දොස්තර තුර්බින් හා ඔහුගේ පවුලේ අයවත් හමුවන්නට එන්නේ සිත් පිත් නැති අයුරෙන්.
"ඒ රැයෙහි කුඩා දේවස්ථානයේ සියල්ල සිදු වූයේ නිකොල්කා සිතූ පැතූ අයුරෙනි. ඔහුගේ හෘදය සාක්ෂිය මුළුමනින්ම සන්සුන් මුත් සෝබර මෙන්ම නොලිහිල් විය. මුඩු,අඳුරු කාය ව්‍යච්ඡේද භූමියේ පිහිටි කුඩා දේවස්ථානය ආලෝකවත් වී පැවතුණි. කොනක තබා තිබු නොහඳුනනා පුද්ගලයකුගේ මිණි පෙට්ටියේ පියන වසා තිබුණි. පණ ගිලිහී තිබුණු, බර, අප්‍රසන්න, පිටස්තර, අසල්වැසියා නයිගේ ශාන්තියට බාධා නොකළේය. නයි පවා බොහෝ ප්‍රීතිමත්ව මිනී පෙට්ටියේ වැතිර හුන්නේය."
මරණයේ තැනිතලාවක් මතදී වුවද බුල්ගකොෆ් විසින් අලංකාර උක්රේන බිමේ අසිරිය ගෙනහැරපාමින් යම් ස්ථානයන් පෙන්වමින් මංමාවත් ඔස්සේ පාඨකයාව ගෙනයාමටත් සුළුවෙන් හෝ ඉතාමත් ලස්සන යුක්රේනියානු ජන ගී වලින් පාඨකයා වශීකරන්නටත් අමතක කරන්නේද නැත. එවැනි අවස්ථාවහිදී පරිවර්තකතුමා පරිසර වර්ණනාවන් සිදුකිරීමට යොදාගෙන ඇති වදන් අපූරු සුන්දරත්වයක් ගෙනදෙයි. ඒවා කියවාගෙන යද්දී එතුමා ස්වතන්ත්‍රයක් රචනා කලොත් මොනතරම් අපූරු වේදැයි මට සිතේ.
"අරඹෙන් ඔබ්බේ, අරඹෙන්
කොළ පැහැ අරඹට ඔබ්බෙන්
කළු පැහැ වෘකයෙකු සමඟ
කඳුළු සළයි පොඩි කෙල්ලක්
බෙරිහන් දෙන්නට නොහැකිව
කඳුළු සළයි ,කඳුළු සළයි
වීණාවේ හඬ නගන්න
කසාචෙන්කා බද්දට ගෙන".....
රුසියානු සාහිත්‍යයේ සම්භාව්‍ය කතුවරයෙකු ලෙස සැලකෙන මිඛයිල් බුල්ගකොෆ් ගේ පොතක් ඉවසීමෙන්, අවබෝධයෙන් කියවා අවසන් කිරීමම මා ලද ජයග්‍රහණයකි. එය සතුටකි. තරමක වෙහෙසක් දරමින් වුවත් කියවා අවසන් කරගතහොත් ඉතාමත් විශිෂ්ට වූ මහා කෘතියකි. සිතට දැනෙන පොතකි. චරිත ගණනාවකින් යුතු කෘතියකි. ඒවාට ආවේණික ගති පැවතුම් ද ඇත. සමහර චරිත සුළු වේලාවකට කතාවේ පෙනී සිටියත් ඔවුන් සතු සුවිශේෂී ගුණාංගයන් සහ හැසිරීම් අමතක නොවන්නකි. විටින් විට ආලයද පෙනී නොපෙනී යන්නකි. සිහිනයන්හි අර්ථයන්ද කියා නොකියා යන දෑහි තේරුම්ද සොයා යායුතුවේ. ඔක්තෝම්බර් විප්ලවයටත්, සිවිල් යුද්ධයටත් කොටු වූ රුසියානු අධිරාජ්‍යයේ බුද්ධිමතුන්ගේ ඉරණම මනාව චිත්‍රණය කරන්නකි.
පරිවර්තකතුමාට බෙහෙවින්ම ස්තූති කල යුතුය. කෘතියට ගැලපෙන්නට එතුමාගේ භාෂා භාවිතය තරමක් බරසාර වුවත් එහි රසවත් බව සහ අපූරු බව මෙන්ම 200 කට අධික වූ පාද සටහන් යොදමින් කෘතිය මනාව කියවා නිමකරන්නට එතුමාගෙන් ලැබෙන සහයෝගය ප්‍රශංසනීයය. එතුමාටද මෙය අභියෝගාත්මක කෘතියක් වන්නට ඇත. එය පරිවර්තකතුමා විසින් සාර්ථකව ජයගෙන ඇත.තව තවත් මෙවැනි වටිනා, අගනා කෘතීන් පරිවර්තනය කරන්නටත් අනාගතයේදී අගනා ස්වතන්ත්‍රයන් බිහිකරන්නටත් එතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා..!
"ඉඳින් හිම ප්‍රමාණය වැඩි වෙනු ඇත. හරිතවන් උක්රේනියානු තණ පත් ඉහළට නැගෙනු ඇත. ගෙතූ කෙස් වැටි මෙන් ඒවා පොළොව ආවරණය කරනු ඇත. තේජස පිරි අංකුර ඉහළට ඇදෙනු ඇත. කෙත්වතුවලට ඉහළින් උණුසුම නලියනු නිසැකය. රුධිරයේ සලකුණු රැඳී නොපවතිනු බව සැබෑය. රතු පාට බිම් කඩවල විසිරුණු රුධිරයට අගයක් නොමැතිය. කිසි අයෙක් ඒවා මිලට නොගන්නෝය. කිසිදු අයෙක්..."