නිකිණි සඳ අවන්හල
About this book
“පේමලතා මේ අන්තිම දවස... ආයෙ මහ රෑ මෙහෙම හොර ගමන් තියාගන්න බෑ. අද හුළුඅතුත් නෑ, ඔයාගෙ නිකිණි හඳත් නෑ.”
“අද හඳ දන්නේ නැතුව ඇති හඳ මත්තෙම පිපෙන මල් ඉන්නේ කරුවලේ බව”
“මට අර කඩේට දාන්න නමක් කල්පනා උනා පේමලතා. නිකිණි සඳ අවන්හල... කරුවලේ පිපෙන මල් පිපෙනවට කැමති හඳනේ.”
“ඒ නමටම මිනිස්සු පිරෙයි”
“බිම බලාගෙන යන්න. සර්පයෙක් කෑවොත් ඉතිං කඩත් නෑ, හඳත් නෑ, කරේ තියන් දුවන්න වෙන්නේ.”
"එහෙනම් පොඩි එකෙක් කෑවත් කමක් නෑ...”
Details
ISBN
9786246749156
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
පිටු 135 ක වගේ පුංචි පොතකට පුලුවන්ද ඔයාව සංවේදී කරන්න…. මස්ඉඹුලයන්ගේ “මැයි මාර ප්‍රසංගය” කියවල තියනවනම් ඔබ කියයි ඔව් ඊට වඩා අඩු පිටු ගාණකින් උනත් ඒක කරන්න පුලුවන් කියලා. ඒත් මේ කියන්න යන්නෙ මැයි මාර ප්‍රසංගය නෙමෙයි හැබයි මාර කතාවක් ගැන.පිටු 135 ක වගේ පුංචි පොතකට පුලුවන්ද ඔයාව සංවේදී කරන්න….
මස්ඉඹුලයන්ගේ “මැයි මාර ප්‍රසංගය” කියවල තියනවනම් ඔබ කියයි ඔව් ඊට වඩා අඩු පිටු ගාණකින් උනත් ඒක කරන්න පුලුවන් කියලා.
ඒත් මේ කියන්න යන්නෙ මැයි මාර ප්‍රසංගය නෙමෙයි හැබයි මාර කතාවක් ගැන.
“මඟහැරුණු හිත්වල
නොකී පෙම් කතන්දර
සුවඳ දී පැතිරෙන
නිකිණි සඳ අවන්හල
කතා පොදි දලුලන
හැඟුම් පද මිමිණෙන
නිදි නැති රැයක් සරසන
නිකිණි සඳ අවන්හල
අලුත් අත්තටු හැදෙන
විඩාවන් නිවාලන
සෙනෙහෙබර නවාතැන
නිකිණි සඳ අවන්හල”
කෘතියෙ නම “නිකිණි සඳ අවන්හල” කර්තෘ ජිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාර.ඔබ ඔහුව සාහිත්‍ය ඇතුලෙ හඳුනන්නෙ රහස් පරීක්ෂණ හෝ ත්‍රාසජනක පොත් ලියන්නෙක් හැටියට වෙන්න පුලුවන්. කලාව ඇතුලෙදි සම්මානිත නාට්‍ය අධ්‍යක්ෂ වරයෙක් තිර පිටපත් රචකයෙක් විදිහට වෙන්න පුලුවන්. ඒත් ජිනිඳු නාට්‍යවල විතරක් කතාකල ප්‍රේමය සහ විරහව මේ වතාවෙ තමයි සාහිත්‍යට එහෙමත් නැත්නම් ඔහුගෙ කෘතියකට ගෙනැල්ල තියෙන්නෙ.
මේ සටහන ඇතුලෙ කතාව කියන්නට නම් මට අදහසක් නැහැ ඒත් මේ කතාව මොනවගේද ඒක මට දැනුනෙ කොහොමද කියල ඔබත් එක්ක බෙදාගන්නයි මේ සූදානම.
නිකිණි සඳ අවන්හල කෘතිය ආරම්භ වෙන්නෙ ඉතාම හාස්‍යජනක ගැමි ළමා කතාවක් විදිහට. ජිනිදුගෙ රචනාවල බහුලව දකින්න ලැබෙන නාට්‍යානුකූල හාස්‍යෝත්පාදක දෙබස් මේ කෘතියෙ අඩුවක් නැතිව දකින්න පුලුවන් කෘතියෙ මුල කොටසම ඉතාමත් විනෝදයෙන් කියවගෙන යන්න පුලුවන් නව යොවුන් ගැමි වීර කතාවක රසයෙන් යුතුව ගලාගෙන යන්නෙ සැහැල්ලු මිහිරියාවක් පාඨකයට අත්දකින්න ඉඩ දෙන ගමන්.
ඒ සැහැල්ලුව පොඩ්ඩක්වත් අඩු නොකර පෙම් කතන්දරයක් කතාව ඇතුලට එන්නෙ අපිටත් නොදැනි. සැබෑ ජීවිතයෙදි ඒක කොහොමත් වෙන්නෙ එහෙමනෙ. නව යොවුන් වියෙන් යොවුන් වියට එද්දි කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ බඩවල්වල සමනල්ලු පියාඹන්න ගන්නවනෙ ඉතින් සෙනරත් ඇතුලු කතාවෙ චරිත වලටත් ඒක එහෙමම සිද්ද වෙනවා. ඒ එක්ක ආරම්භ වෙන කතාවෙ සැබෑ හරය වෙච්ච ප්‍රේමය එක්කයි කතාව ඉදිරියට ගලාගෙන යන්නෙ.
දශක පහ හයකට අයිති කතාවක් පිටු 135 ක් ඇතුලෙ වේගයෙන් ගලාගෙන යනවා කියන්නෙ රචකයෙක්ට පාඨකයා වෙගෙසට පත් නොවී ලියන එක කලබල ගතියක් නොදැනෙන්න ලියන එක පහසු වැඩක් නෙමෙයි හැබයි ජිනිඳු කතාව ඇතුලෙ මොනවත් මග නොහැරෙන්න පාඨකයට ආයාසයක් නොදැනෙන්න තමන්ගෙ රචනා කාර්‍ය කරන්න සමත් වෙල තියෙනවා.
මම ජිනිඳුගෙ රචනාවල වඩාත්ම ප්‍රියකරන්නෙ ඔහුගෙ දෙබස්වල තියන සාරවත් බව සහ ඒවයෙ තියන නාට්‍යමය බව. ඒක කතාවකට ගේන්නෙ අපූරු රහක්. හාස්‍ය සහ හිත පසාරු කරගෙන යන වදන් ගැලපෙන පදමට කතාවෙ සජීවී බවට හානියක් නොවෙන්න සහ කෘතිම බවක් නොදැන්නෙන්න කතාවට එකතුකරල තියෙනවා.
කතාවෙ විශාල හැලහැප්පීම් සහිත සිදුවීම් ගණනාවක් දකින්න නැතත් කතාවෙ වැදගත්ම කොටස ගලාගෙන යන්නෙ එක් විශේෂ සිදුවීමක් මුල්කරගෙන. ඒ එක්ක කෘතුහලය තියාගෙන යන්න කතුවරයා සමත් වෙලා තියෙනවා.
ජීවිතයෙ අපේ බොහෝ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න මිනිස්සුන්ට තියෙන්න ඕන අප්‍රතිහත ධෛර්යය ගැන පණිවිඩයක් කතාවෙ දිගටම ගෙනැල්ලා දෙනවා.
පිටු 135 ඇතුලෙ සතුට දුක සිනහව කඳුල කෘතුහලය එක්ක ගලාගෙන යන අපූරු කතාවක් විදිහට නිකිණි සඳ අවන්හල හඳුන්වන්න පුලුවන්.
කතාවෙ අවසානය දුකක්ද සතුටක්ද නැත්නම් සතුට එක්ක ආපු දුකක් කම්පණයක් එකතුකරන්නක්ද කියන එක තීරණය කරන්න පාඨක ඔබට මම බාර කරනවා.
රසවත් නමුත් කුඩා කතාවක් නිසා වැඩිමනක් දේවල් කියන්න ගියොත් ඔබේ රසයට බාධාවක් වෙයි කියල හිතෙන නිසා මම මීට වඩා දේවල් කියවන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.
මේ කෘතිය දැනටමත් කියවපු හිතවතුන්ට ඔබේ අදහස් පහලින් එකතුකරන්නත් , නොකියවපු අයට කියවල බලන්න කියලත් ආරාධනා කරනවා.
“උරුම උනත් නැතත් මිනිස්සු නතර වෙන්නෙ ආදරේ දැනිච්ච තැන්වල”
“හඳ දන්නෙ නැතුව ඇති හඳ මත්තෙම පිපෙන මල් ඉන්නෙ කරුවලේ බව”
කර්තෘ : Jinidu Padma Sri Bandara
ප්‍රකාශනය : Grantha (Pvt) Ltd
මුද්‍රිත මිල :- රු 650 (grantha.lk. වෙතින් මිලට ගන්නවනම් 20% වට්ටමක් හිමිවෙනවා)
පිටු : 135
#MyReviews_Naveen
https://www.facebook.com/photo?fbid=25397784066473836&set=a.286019058077017
Write a review