පොසිටිව්
About this book
එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්‍රක් රථයේ පසුපස කොටස
ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි.
ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන්
පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි.
එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.
එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප
එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.
සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.
කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!
තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින්
බැඳ ට්‍රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.
ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.
නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.
ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම්
වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින්
ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.
Details
ISBN
9786245572892
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
'පොසිටිව්' ත්‍රාසය, භීතිය සහ කුතුහලය සපිරි කතාවකි.කෘතිය : පොසිටිව්
කතෲ : කේෂාන් හරේෂු
ප්‍රකාශකයෝ : ග්‍රන්ථ ප්‍රකාශකයෝ
පිටු ගණන : 232
විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි.
නිදන විල, හඬන විල සහ ග්ලැසේරා කෘති ත්‍රිත්වයෙන් පසු පළමූ කේෂාන් හරේෂු කතුවරයාගේ නවතව, සිව්වන කෘතිය වන 'පොසිටිව්' කෘතිය කියවීමි. පෙර කෘති ත්‍රිත්වයටම වඩා වෙනස් කතාවක් වන 'පොසිටිව්' ත්‍රාසය, භීතිය සහ කුතුහලය සපිරි කතාවකි.
විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් රචනයේ දී එහි තාත්වික බව රඳවා ගැනීමට කතුවරයා දක්ෂ විය යුතු ය. තාත්වික බව නොමැති වූ විට, ප්‍රබන්ධයක් වුව කියවන්නා හට නීරස වන අතර, පාඨකයා බලාපොරොත්තු රසවත් බව නොලැබී යයි. 'පොසිටිව්' තුළ මා දුටු විශේෂ ලක්ෂණය වන්නේ තාත්වික ලෙස කතාව රචනා කොට තිබීමයි. එනිසාම එක හුස්මට කියවිය හැකි සේම, තත්ත්ව ලෝකයෙන් පිට සිදුවීම් සමුදායක එකතුවක් ලෙස නොහැඟෙන පරිදි කතාවෙන් උසස් වින්දනයක් පාඨකයාට ළඟා කොට ඇත.
සමස්ත කතාවම දිව යන්නෙ එක් රැයක සිදු වූ සිදුවීම් දාමයක් වටාය. ඊට අතීත සිදුවීම් තුළින් යම් යම් බලපෑම් සිදු වුවත් මූලික කතාව එක් රැයක සිදුවන සිදුවීම් දාමයක් වටා ගලා යයි. කතුවරයාගේ 'ග්ලැසේරා' කෘතිය කියවා අවසන පාඨකයාට පිළිතුරක් නොලද පැන තිබුණි, පොසිටිව් තුළින් කතුවරයා එම පැන සඳහා විසඳුම් ලබා දී ඇත. ඒ අනුව බැලීමේ දී ග්ලැසේරා කියවා අවසන 'පොසිටිව්' කියවිය යුතු ය. එසේ වුවත් කෘති දෙකෙන්ම එක් කතාවක දිගුවක් බලාපොරොත්තු විය නොහැකි වීම විශේෂත්වයකි. 'පොසිටිව්' යනු 'ග්ලැසේරා'ට වෙනස් වූ නවතම කතාවකි.
පාඨකයා තුළ කුතුහලය උපරිම මට්ටමට ජනිත කරවීමට සමත් කතාව තුළ ත්‍රාසය සහ භීතිය නොඅඩුව ඇතුළත් කොට ඇත. කතුවරයාගේ පෙර කෘතියක් වූ ග්ලැසේරා කෘතියේ දී වඩවාලූ භීතිය සේම මෙම කෘතියත් භීතිය ජනිත කරවන කතාවක සිරි ගෙනෙයි. 'ග්ලැසේරා' හිද පාඨක හමුවට ආ හිම මිදුන සීතල සමඟ ගලා යන 'පොසිටිව්' යනු ලොම් ඩැහැ ගැන්වෙන කතාවකි.
අලුත පත් වූ නගරාධිපතිවරයාගේ ආගමනයත් සමඟ, නගරයේ කඳු මුදුනක හුදකලා වූ මනරම් හෝටලයක් තුළ රාත්‍රී කාලයේ පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ උත්සවයකි. අධික හිම පතනය නිසා කාලගුණයෙන් එල්ලවන බාධා හමුවේ, උත්සවයට හිතකර පරිසරයක් සැකසී නොමැති වටපිටාවක උත්සවයට පැමිණි අමුත්තන් පවා ගෙවා දමනුයේ අවිනිශ්චිත කාල සීමාවකි.
එවන් තත්ත්වයක් හමුවේ, හේතුවක් වටහා ගත නොහැකි භයානක සිදුවීම් සමුදායකට හෝටල් පරිශ්‍රයේ සිටින්නන්ට මුහුණ දීමට සිදු වේ. පාඨකයා විශ්මයෙන් සහ භීතියෙන් ඇළලී යන ජුගුප්සාජනක සිදුවීම් හමුවේ උත්සවයට සහභාගීව උන් පුද්ගලයින් හා හෝටල් සේවකයින් මුහුණ දෙන්නේ උභතෝකෝටික ගැටලු ගණනාවකට ය.
ඔවුන්ට කාගේ පිළිසරණක් වේද?
සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චිත කර ගැනීමටවත් සුළු අවස්ථාවක් හෝ ඔවුන්ට ලැබේවි ද?
මේ, කියවන්නා පවා 'පොසිටිව්' වේ යැයි සිත සලිත කරවන 'පොසිටිව්' හි සාරාංෂයක් පමණි. උද්ගත වූ සියලු පැන සඳහා විසඳුම් සොයා ගැනීමට නම් ඉවසීමෙන් යුතුව 'පොසිටිව්' කියවිය යුතුම ය.
|"හ්ම්... හරියටම දන්නෙ නෑ... ඒත්
මම හිතන්නෙ මේ තුවාලෙ විදියට නම්
මෙයාව මොකෙක් හරි සතෙක් හපලා."
"සතෙක්!"
"මේ මනුස්සයා මේ සීතලේ හෝටලෙන්
එළියට ගියේ මොන එහෙකටද?"
"නෑ... මෙයා හිටියේ එළියේ නෙවෙයි."
"මොකක්?"
"ඇත්තටම කොහෙද මෙයා හිටියෙ?"
"මෙයාව මම දැක්කේ කොරිඩෝවේදි.
ඒ වෙනකොටත් මෙයා ගොඩාක් බය වෙලා
හිටියෙ. ඒ වගේම ඇඟ පුරාම ලේ! ඒත්
එක්කම මෙයාගේ කකුලත් තුවාල වෙලා
තිබුණේ."
(පිටු අංක - 161)
කතාව තුළ කෙටි පරිච්ඡේද තුළින් පාඨකයාගේ සිතුවිලි තුළ වැඩි වාර ගණනක ප්‍රශ්නාර්ථ ඉතිරි කිරීමට කතුවරයා සමත්ව ඇති බව පෙනේ. අතීතය සහ වර්තමානය වරින් වර එකතු කරමින් ජිග්සෝ ප්‍රහේලිකාවක් බඳු කතාවේ තැන් තැන්හි සිදුවීම් ගෙන එමින්, කුතුහලය තවත් වැඩි කොට ඇත. සිදුවන්නේ කුමක්ද යන්න පාඨකයාට නිගමනය කිරීමට ලබා දෙන අවස්ථාවන් කතාව අවසානය ළඟා වන තෙක් සමීප නොකිරීමට තරම් කුතුහලය රඳවා තබා ගැනීමට දක්ෂ වෑයමක් දරා ඇති බව පෙනේ.
එක් එක් චරිත සහ කාල සීමාවන් වෙනස් කරමින් කෙටි සිදුවීම් අනුසාරයෙන් කුඩා පරිච්ඡේද සමඟ ගලා යන කතාව පාඨකයා සිහි එළවා කියවිය යුතු අතර, කුඩා සිදුවීමක් පවා මූලික ප්‍රස්තුතයට කුඩා හෝ සාධකයක් වන අතර, එම කුඩා සිදුවීමක් මඟ හැරීමෙන් පවා සම්පූර්ණ කතාව අවබෝධ කර ගැනීමට බාධා මතු වනු ඇත.
තාක්ෂණයේ අසීමිත දියුණුව තුළින් පවා මානව සංහතියේ යම් යම් අසීරු අවස්ථාවන් සාර්ථකව තරණය කිරීමට නොහැකි වූ අවස්ථාවක් මවන මෙම ප්‍රබන්ධය වරක හොලිවුඩ් සිනමා පටයක රස සිහි කරයි. ඒ මෙහි එන සිදුවීම් පාඨක සිත තුළ සිනමාරූපී ලෙස චිත්‍රණය කරනුයේ බටහිර ආරක රසයක් නිසාවෙනි.
කතාව ගලා යන්නේ විදෙස් පසුබිමක සිටය. චරිත පවා විදේශීය චරිත වන අතර, එසේ වුවත් පරිසරය මැවීම හෝ චරිත නිරූපණය තුළ කිසිදු නොගැලපෙන බවක් දක්නට නොලැබේ. කතාවට උචිත සහ ගැළපෙන පරිසර තත්ත්වයක් මනාව නිරූපණය කිරීමටත්, එය පාඨක සිත තුළ චිත්‍රණය කිරීමටත් කතුවරයා සමත්ව ඇති බව පෙනේ.
එකිනෙකට වෙනස් කෘතීන් තුළින් පාඨක හමුවට එන කතුවරයාගේ 'පොසිටිව්' කෘතිය කියවන අතරතුර භීතිය නම් නොඅඩුව දැනෙන අතර, එය නිදන විල, හඬන විලත් ග්ලැසේරා කෘතීන් ත්‍රිත්වයේ දී දැනුණු හැඟීමට වෙනස් හැඟීමකි. ඉඳින් එසේනම්, කතුවරයාගේ රචනයේ සාර්ථක බව එයින්ම තීරණය වන බවට තව තවත් අටුවා ටීකා අවැසි නොවන්නේ නොවෙද?
යම් යම් සිදුවීම් අවසන, පාලනයෙන් ගිලිහී ගිය කෲර වූත් භයානක වූත් කිසිවක් තුළින් නිශායාමයේ සිදුවන භයානක සිදුවීම් සමුදායට කිසිවෙකු හට විරුද්ධ විය හැකි වේද යන්න ගැටලුවකි. ඉඳින් සියල්ලට පිළිතුරු සොයා ගැනීමට 'පොසිටිව්' කෘතිය ඉවසීමෙන් කියවිය යුතුම ය.
පාඨකයා ත්‍රාසයෙන් පුරවා ලන 'පොසිටිව්' කෘතියේ රස විඳ ගැනීමට ඔබටත් ආරාධනා කරමි.
#Positive #keshan_hareshu #පොසිටිව්
#කේෂාන්_හරේෂු #facts_of_a_book_from_dhanu #note_no_283
#dhananjani_kariyawsam
.
.
.
.
.
.
2025-01-26
ධනූ...✍️
https://www.facebook.com/photo/?fbid=1164083525504775&set=gm.2438190073022797&idorvanity=519977601510730
Write a review