මිනිසා ස්වභාවයෙන්ම චපලය. සිත නිරතුරුවම ආශාවන්ට නතුවේ. එය මානුෂික ස්වභාවයක් වුවද බොහෝ දෙනා දුර්ගුණයක් ලෙස සලකන නිසා පිළිගැනීමට මැළි වෙයි. ඒ නිසාම බොහෝ නවකතාකරුවන් තම චරිත සුදු හෝ කලු චරිත ලෙස පැහැලිව වර්ග කර තබති. එහෙත් ලේඛකයා මෙහි එන කථා නායකයා සතු සුදු කළු චරිත ස්වභාවයන් නිදහසේ ගලා යන්නට ඉඩ සලසා ඇත. වරින් වර රූමත් ගැහැණුන් කෙරෙහි ආසක්ත වන අලංක ගේ සිත නොවලහා මතුකර පෙන්වන අතරම, කුඩා දැරියකගේ අසරණ භාවයකදී සානුකම්පිත ලෙස හැසිරෙන ඔහුගේ සිතද මතු කර පෙන්වයි.
ප්‍රේමය ඉක්මවා ගිය මානුෂික හැඟීම් වඩා යථාර්ථවාදී ලෙස විවරණය කරන මෑතක කියවන්නට ලැබුන හොඳම නවකතාව ලෙස "වරද මා අතමය" අගය නොකළහොත් මා අතින්ද වරදක් නිර්මාණය වේ.
පවුල් ජීවිතයක නිතර අඬ දබර ඇති නොවන පරිදි, චමත්මත් සැමියා පිළිබඳව විමසිලිමත් වන පරමාදර්ශී බිරිඳක් ලෙස "මධූ"ගේ චරිතය නිර්මාණය වී ඇති අතර, ආශාවන් ඉදිරියේ අසරණ වීම නිසා සහෝදරත්වය පවා අමතක කළ ගැහැනියක ලෙස නිමාෂාගේ චරිතය ගොඩ නංවා ඇත. ඊට හාත්පසින්ම වෙනස් ගැහැනියක ලෙස නිශාදි ඉස්මතුවෙයි. ගැහැණු මනෝභාවයන් මෙතරම් සියුම් ලෙස ස්පර්ශ කරන්නට කතුවරයාට ඇති හැකියාව ගැන විමතියට පත් වෙමි. ඒ අන් කිසිවක් නිසා නොව තරුණ කාලයෙහි ඔහු ඉතා ළඟින් ඇසුරු කිරීමට ලැබීමෙන් ඔහු කෙතරම් තැන්පත්, ලජ්ජාශීලි පුද්ගලයෙක්දැයි මා හොඳින්ම දන්නා බැවිනි.
චමත්කාර ජනක ලෙස අසන්නන්ගේ සිත් මෝහනය කර ගැනීමේ චතුර බවක් සහිත නිවේදකයකු වූ හේමන්ත අබේකෝන් මේ කෘතිය මඟින් පාඨකයන් ඇද බැඳ තබා ගන්නා සුළු ලේඛන කලාවක් තමා සතු බව ඉතා බුහුටි ලෙස ඔප්පු කර තිබේ. ඔහුගේ මීළඟ නවකතාව කියවීමේ ආශාවෙන් පෙළෙමි.
නාරද විජයසූරිය
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.