Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පරසතු

About this book

මිනිසා විසින් නිපදවන ලද බොහෝ දේ අතර මනුෂ්‍ය සමාජය විප්ලවීය වෙනසකට ලක් කිරීමට සමත් වූ ප්‍රධාන නිපැයුමක් වූයේ භාෂාවයි. මීට වසර ලක්ෂයකට පමණ ඉහත කාලයකදී නුතන මානවයින් විසින් නිපදවන ලද භාෂාවේ පසුකාලීන වර්ධනයක් වුමාත්‍රාමය ශබ්ද උච්චාරණය භාෂාවේ ලාලිත්‍යමය ක්ෂිතිජය නිර්මාණයට මඟ පෑදීය. භාෂණය අනතුරුව ගායනය යනුවෙන් හැඳින්වෙන සුවිශේෂී ශික්ෂණය තෙක් වැඩී ගියේය. ගායනය කළ හැකි ලෙස භාෂාව සංයෝග කිරීමේ කුසලතාව වනාහී නිර්මාණ කෞශල්‍යයේ වාසනා මහිමයයි. සිය ආධ්‍යාත්මය තුළ හට ගන්නා නෙකවිද සංවේදන වලට අයත් ස්පන්දන අක්ෂර තුළ ගැබ්ගෙනඇති ස්වර මාධුර්යයන්ට පරිවර්තනය කිරීම ප්‍රතිභාව නම් කුසල ශක්තියේ ප්‍රතිබිම්බයයි.

සිංහල භාෂාව වූ කලී මේ විස්කම් ප්‍රතිභාව නම් කෘත පුණ්‍ය ගුණය ඇති නිර්මාණකරුවන්ට සිය භාව විමෝචනය පිණිස ඉතිහාසය පුරා දිරි දුන්නේය. මීට වසර දෙදහසකට පමණ පෙර කිරින්ද විහාරයේ ගල් පර්වතයක කවියක් ලියූ කිවියා තවමත් එහි ජීවමානය. ‘අපරිමිත ලොකදතුය බුධ සමෙ නති’ යනුවෙන් ඇරඹෙන ඒ කවිය වෘත්තගන්ධි ශෛලියෙන් පබඳින ලද්දකි. එක් අතකට මෙවැනි පබැඳුම් අපට සිහිගන්වන්නේ නූතන නිසඳැස් සම්ප්‍රධායයි. අනුත්සාහිකව ගලා එන ප්‍රබල හැඟීම් රිද්මයානුකූලව හැඩ ගස්වනු පිණිස මිණිපේ පුවරු ලිපියේ අකුරු ඇමුණු ගාන්ධර්වයා


සිරිකතට උවිඳුවන්
විසිකතට බඹහුවන්
පළනෙදට හිරුහුවන්
සොමිලෙසට සිසිහුවන්

යනුවෙන් වදන් විණ්‍යාසයක් කරන ලද්දේ ද වෘත්තගන්ධි ශෛලියෙනි.

පරසතු යනු තවත් එවැනි අංකුර ගාන්ධර්වයෙකු සිය ප්‍රතිභා වාසනා ගුණය එලිදක්වන වෑයමකි. මවක් නැති මව්රටට හිසින් ඔහු විසින් ගොනු කර ඇති වදන් විණ්‍යාසය මට සිහිගන්වන්නේ සීගිරි කැටපත් පවුරේ කැරුටු ගී ලියූ කවියාය.


මවක් නැති මව්රටට - මවක් වී කිරි දෙන්න
මවක් නැති මව් බසට - නැල විලි කවක් වෙන්න

යන උක්තිය වනාහී

ඇසීම් හසුන් හසුන් සෙස් විල්දුට් - බමර් සෙසේ පල් පියුම් දුට්…

යන ගී පදයේ එන සෞන්දර්යාත්මක ශබ්ද පුනරුක්තිය සිහියට නංවයි. පරසතු ගේය පද එකතුවේ කිවියර අසංක රුවන් සාගර දීප්තිමත් අනාගත සිංහල ගේය පද සාහිත්‍යයක මෝදු වන අරුන්දතී තාරකාවක් බව මෙහි එන ගේය පද රසවිඳීමෙන් ඔබ විසින් පසක් කර ගනු ඇති යන්න මගේ විශ්වාසයයි. ඒ තාරකාව අප ඉදිරියේ ඇති ක්ෂිතිජයේ පායනු තුරු අපි නොවැසූ දෙනෙතින් බලා හිඳිමු. කිසිදිනෙක ඒ තාරකාව ඇසුරු සැණකට හෝ අඳුරු වළාවකට මුවා නොවේවා යැයි ඉත සිතින් පතමු.


මහාචාර්ය රාජ් සෝමදේව

Details
ISBN
9789556565706
පිටු ගණන (Pages)
121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පරසතු

Reviews are published once a member of our team has read them.