දුරු රටක දුකට කිරියක
සිරිපාල ගිය පසු ඔහු විසින් මට ලියා එවන ලද සුත්ත නිපාත පාඨය සිහිපත් කිරීමට මම තැත් කෙළෙමි. එහි භාවාර්ථය මා සිහිපත් කළේ මගේ මතකය කූද්දනු පිණිස ය.
‘දියෙන් උපත ලබන නෙළුම් මල දියෙහි නො ගැලී දිය මත මනරම් ලෙස බැබළෙමින් සුවඳ වගුරුවමින් පවතියි. කෙලෙස් ප්‍රහීණ කළ බුද්ධාදි උත්තමයෝ ද, සෝතාපන්නයෝ ද ලොව තුළ වසන නමුදු ඒ පියුම සේ ලෝ තුළ නො ගැලී ගුණ සුවඳ වගුරුවමින් ජීවත් වෙති.
"යථාපි උදකෙ ජාතං
පුණ්ඩරිකං පවඩ්ඩති
නඋපලිප්පති තොයෙන
සුවිගන්ධං මනොරමං
"එවං ලොකෙ සුජාතො
බුද්ධො ලොකෙ විරජ්ජති
නඋපලිප්පති ලොකෙන
තොයෙන පදුමං යථා”
මතකයට නඟාගත් ඒ සුන්දර කාව්‍යෝක්තිය මා දින ගණනක් යන තුරු සිහිපත් කළේ, හඬ නඟා කියවූයේ ප්‍රණීත ආහාරයක් තලු ගසමින් රස විඳින්නාක් මෙනි.
මා ඒ මඟට පිළිපන් සෝතාපන්නයකු නොවන බව දනිමි.එහෙත්, ඒ සෝතස දැක-ඇඳිනගැනීමට මා දැන් සමත් වීඇතැ යි මට සිතේ.